gossiplankanews.com- 26 වසරකට කලින් දුටු අවතාරය නැවත මුණ ගැහිලා

ඒ එක් දහස් නවසිය අසූ අට වසරය (අවතාරය). තරුණ විය පසු කළ බොහොමයකට තවමත් හොඳින් මතක ඇති පරිදි එය අප රට තුළ භීෂණය රජවී තිබූ ‘නාඳුනන තුවක්කුකරුවා’ගේ යුගයේ ඇරඹුමය. නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පාහේ ගිලිහී තිබූ ඒ යුගයේ දිවා රාත්‍රී භේදයකින් තොරව එහා මෙහා හුවමාරු වෙමින් තිබූ නාඳුනන තුවක්කු කටවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ ජනතාවට සුලබ අත්දැකීම් විය.
butha1එමෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ හිංසකයන් සේම අහිංසකයෝ දස දහස් ගණනින් මරු වැළඳ ගත්හ. වෙඩි තබා මරා දැමූවන්ගේ සිරුරු මහපාරවල් අද්දර පිළිස්සෙමින් තිබූ අතර ඒවායින් නැගුණු දුගඳින් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරීයන්නට විය.
එම බිහිසුණු කාලය වන විට මම තාරුණ්‍යයේ අවසන් භාගය පසුකරමින් සිටියෙමි. ඒ කාලයේ මගේ පූර්ණකාලීන වෘත්තීය පත්‍ර කලා දිවියට සය වසරක් සපිරී තිබිණ. ඒ වන විට විවාහ වී වසර දෙකක සිඟිත්තකුගේ පියකු වුවද එකල බොහෝ තරුණ පත්තරකාරයන් තුළ තිබූ හිතුවක්කාර දඩබ්බර ගතිය මා කෙරෙහි ද නොඅඩුවම පිහිටා තිබිණ. නුවර යාමට ගෙදරින් පිටවන මට අතරමගදී හමුවන මිතුරකු කුමක් හෝ හේතුවක් දක්වා මාතර යාමට කතා කළහොත් මගේ නුවර ගමන මාතරින් කෙළවර වීම දක්වාම ඒ හිතුවක්කාරකම බරපතළ විය.
හොල්මන් කතාවක් කීමට ගොස් මා පිළිබඳ චූර්ණිකාවක් පෙරටු





කරළීමට මට සිත්වූයේ එමගින් ද මා පවසන මේ කතාවට යම් පිටිවහලක් ලැබිය හැකි බැවිනි.
මා ඉහත සඳහන් කළ දිනයේ කන්තෝරුවේ වැඩ අහවර වී රාත්‍රී අටහමාරට, නවයට පමණ දුම්රියෙන් ගණේමුල්ලට පැමිණි මම කෙලින්ම ගෙදර නොගොස් මිතුරු පිරිසක් සමග ‘පාටියකට’ එක්වීමි. මෙහිදී මා ‘පාටිය’ ලෙසින් හැඳින්වූයේ නූතනයේ සමාජ සම්මත සාදයක් නොවේ. එය කිසිදු විශේෂිත හේතුවක්, අරමුණක් හෝ ඉලක්කයක් නොමැතිව සගයන් හත් අට දෙනකුගේ ‘නන්නත්තාර’ එක්වීමකි. නූතන ව්‍යවහාරයට අනුව ‘සෙට්වීම’ යනුවෙන් හැඳින්වෙනුයේ ද මෙම නොවිධිමත් පාටි විශේෂයටමය.
දිනපතාම නොවුණත් සතියකට, දින දහයකට වරක් මෙවැනි පාටියකට සෙට් වී බිරිඳගේ බැණුම් වරුසාවකට මැදිවී යක්කු ගස් නගින වෙලාවේ ගෙදරට සේන්දුවීම එවක මගේ සාමාන්‍ය පුරුද්දක්ව තිබිණ.
ගණේමුල්ල නගරයේ සිට අප නිවසට ඇත්තේ කිලෝමීටරයක පමණ දුරකි. මේ කියන දිනයේ මා පාටියෙන් ඉවත්වූ වේලාව නම් මට හරියටම මතක නැත. ඒ බොහෝ විට මැදියම් රාත්‍රියට ආසන්න වේලාවක් විය හැකිව තිබිණ. සාමාන්‍යයෙන් සැන්දෑ ඇඳිරිය වැටුණු පසු එළිපහලියට ඒම කෙසේ වෙතත් නිවසේ පහන් දැල්වීමට පවා බොහෝ දෙනකු පසුබට වූ ඒ යුගයේ මෙලෙස රෑ මැදියම් රාත්‍රියේ තට්ට තනියම (ඇතැම්විට සිග් සැග් ක්‍රමයට දෙපා හසුරුවමින්) ගෙදර ඒමට මා පෙළඹවූ ප්‍රධාන හේතුවක් ද තිබිණ. එනම් එවකට මා සතුව ඉහවහා යමින් තිබූ මෝඩකමය.
ගණේමුල්ල නගරයත් අප නිවසත් අතර ජාඇල මාර්ගයේ එක්තරා තැනක මුහුණට මුහුණ ලා පිහිටි සිල්ලර කඩ දෙකක් ඇත. ඒ කඩ දෙක අද්දරින් දකුණට හැරෙන කුඩා පාරක් ද තිබේ. එය හැඳින්වෙනුයේ ‘මහවත්ත පාර’ ලෙසිනි. එම පාර ඇරඹුමේම ඇත්තේ ලොකු පල්ලමකි. එනිසා ප්‍රධාන පාරේ ගමන් කරන්නකු හට ඒ පාරේ වැඩිදුරක් නොපෙනෙයි.
එම රාත්‍රියේ මා ඒ සිල්ලර කඩ දෙක සමීපයට එත්ම ඒ මහවත්ත පාර ආරම්භයේම පාර හරහා ඇද තිබූ සුදු රැලි පාලමක් හෙවත් පාලම් කොඩියක් දක්නට ලැබිණ. එය ඉතා හොඳින් දර්ශනය වූයේ ඒ පාරට හැරෙන හන්දියේ පහන් කණුවක දැල්වෙමින් තිබූ සුදු පැහැති දීප්තිමත් ආලෝකයක් විහිදුවන මර්කරි විදුලි බුබුල නිසාය. එමෙන්ම එම පහන් කණුව යට කිසියම් පුද්ගලයකු හිඳින බවක් ද මට දුරදීම පෙනිණ. සුදු අත් සහිත මේස් බැනියමක් සහ කැසපට ගැසූ සරමක් ඇඳ සිටි, වඩා උස් නොවූ එහෙත් තරමක තරබාරු සිරුරකින් යුතු ඔහු මට අමුත්තෙක් නොවීය. ඒ ඊට පෙර නොයෙක් අවස්ථාවලදී ඒ ඉසව්වේදීම ඔහු මගේ නෙත ගැටී තිබූ බැවිනි. අපේ ගමේ අයකු නොවූ ඔහු මහවත්ත පාර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හිඳින්නකු බව ඒ සම්බන්ධ මගේ වැටහීම විය. එහෙත්, ඔහු හැරුණු කොට ඒ අවට කිසිවකුත් දක්නට නොවූහ. අන් කිසිවක් තබා වසා දමා තිබූ සිල්ලර කඩ දෙක ද තද නින්දක පසුවන්නාක් මෙන් මට දැනිණ. සාමාන්‍යයෙන් ඊට පෙර නොයෙක් වර මා ඒ පුද්ගලයා දැක තිබුණද යන්තම් කට කොනකින් සිනාසීමකට වඩා සබැඳියාවක් ඔහු හා මා අතර නොවිණි. එහෙත් ඒ මොහොතේ ඔහු දුටු සැනින් මට වැටහී ගියේ ඒ මළගෙදරට පැමිණෙන්නෙකුගේ අපේක්ෂාවෙන් ඔහු මේ මැදියම් රැයේ ඒ පහන් කණුව යට කල් මරන බවකි.
“කවුද අන්ත්‍රාවෙලා තියෙන්නේ?” ගමේ අවමඟුලක් සිදුව තිබියදී ඒ ගැන නොවිමසා බුම්බා ගෙන යාමෙන් මගේ මනුස්සකම සම්බන්ධ ගැටලුවක් පැන නැගිය හැකි බැවින් මම ඔහුගෙන් ඇසීමි. එවිට ඔහු ද මහවත්ත පාර දෙසට තම මුහුණ හරවමින් යමක් කීය. එහෙත් මට එය හරිහැටි වැටහුණේ නැත. නමුදු ඒ මොහොතේ මා තුළ වූ නිදිමත සහ ‘අනික් මත’ අනුව ඔහු හා පැන පැන කතාවට යාම ද නුසුදුසු බව තේරුම් ගත් මම හෙමිහිට එතැනින් මාරු වීමි.
මා නින්දට වැටී ඒ අත හැරී මේ අත හැරෙන්නටත් පෙර පසුදාට පහන්වී ඇති බවක් වැටහිණ. එබැවින් ඇඟේ පතේ අමාරුව මනැසේ හෝන්දු මාන්දු බව යන මේ සියල්ල අමතක කොට කන්තෝරු එනු පිණිස මම ලහි ලහියේ සැරසුණෙමි. ඒ එදිනට කළ යුතු වැඩ කන්දරාවක් ගොඩගැසී තිබූ බැවිනි. දඩිබිඩියේ ලැහැස්ති වූ මම කන්තෝරුවට එනු පිණිස ගණේමුල්ල ජාඇල බස් මාර්ගයට එන විට පෙරවරු හතහමාර පමණ වන්නට ඇත. පාර අයිනේ තිබූ එඩ්මන් සේනාසිංහ හෙවත් ඇක්මන් වෙදමහත්තයාගේ නිවසේ ඉදිරිපස තාප්පයේ අලවා තිබූ මරණ දැන්වීමක් මගේ නෙත ගැටුණේ අහම්බෙන් මෙනි. එය දුටු සැනින් මගේ මුළු සිරුරම සිසිල් දරදඬු බවකට පත්වී උගුරකට ද වියැළී යන්නාක් මෙන් දැනුණි. ඒ සමග ඔක්කාර ගතියකින් සහ ක්ලාන්ත ගතියකින් මම වෙලී ගියෙමි. මා හිඳිනුයේ කොහේද යන්නත් මට එක්වරම අමතක විය. ඊට හේතුව එම මරණ දැන්වීමේ ඡායාරූපය ඊට පැය කිහිපයකට පෙර මා පහන් කණුව අද්දර දී දුටු මිනිසාගේ වීමය. එමෙන්ම එම මරණ දැන්වීමේ ‘විපත’ වශයෙන් සටහන්වී තිබුණේ මා ඔහු දුටු දිනට පෙර දින වීම මගේ ඉහ මොළ රත්කරවන්නට විය. ඒ අනුව ඔහු මා හමුවේ දර්ශනය වී ඇත්තේ සිය මරණයෙන් පසුව දේහය නිවසේ තබා ඇති මොහොතකය. ඒ කෙසේ හෝ මිනිසුන් මුහුණ දෙන මෙබඳු ගුප්ත සන්සිද්ධීන් හි යථාර්ථය පිළිබඳව එවකට හයක් හතරක් නොදැන සිටි මට ඉන්පසුව ලබාගත් දැනුම්, අත්දැකීම් ඇසුරෙන් ඒ සම්බන්ධ මතු දැක්වෙන අනුමානයන්ට එළැඹිය හැකිවිය.
1. මා රාත්‍රියේ පහන් කණුව යටදී දැක ඇත්තේ එම මළ ගෙදරට පැමිණි වෙනත් තැනැත්තකු විය හැක. ඇතැම් විට ඒ මියගිය තැනැත්තාගේ එක් කුසේ උපන්, සමහරවිට නිවුන් සොයුරකු ද විය හැක. එහෙත්, ඒ මොහොතේ නිදි මතින් සහ බමන මතින් සිටි මට පහන් කණුව යටදී ඔහුගේ මුහුණ හරිහැටි පරීක්ෂා කිරීමට නොහැකි විය. ඔහු මියගිය පුද්ගලයා ලෙස මා සාවද්‍ය පූර්ව නිගමනයකට පිවිසියේ ඔහුගේ සිරුරේ ප්‍රමාණය සහ ඇඳුම යන බාහිර සාධක පදනම් කරමිනි.
2. එමෙන්ම මෙහි දෙවැනි කරුණ වන්නේ ඒ මොහොතේ මා ඒ තැනැත්තා අන් අයකු ලෙස හඳුනාගෙන තිබියදීත් පසුදා මරණ දැන්වීමේ ඇති ඡායාරූපය දුටු සැනින් ඒ සම්බන්ධ ව්‍යාජ මතකයක්  සිත තුළ ආරෝපණය වීමට ඇති හැකියාව ය. ඒ මතකය සිත තුළට පිවිසියේ මා කලක සිටම දන්නා හඳුනන සුදු අත් සහිත මේස් බැනියම් අඳින තැනැත්තා මෙම මරණ දැන්වීමේ ඇති ඡායාරූපයේ ඇති පුද්ගලයාත් එකම අයකු බැවිනි. මෙම ඡායාරූපය දැකීමත් සමග ඔහු පිළිබඳ මගේ මතකයේ පූර්වාපර සන්ධි ගැළපුණේ පෙරදා රාත්‍රියේ මා දුටු රුව ඔහුගේමය යන්න ව්‍යාජ මතක සටහනක් ලෙස සිත තුළට පිවිසුවමිනි. පෙරදා රාත්‍රියේ මා නිදිමතින් සහ බමනමතින් යුතුව දුටු පුද්ගලයා ඊට ඉඳුරාම වෙනස් පෙනුමකින් යුතු පුද්ගලයකු වීමට පුළුවන. එහෙත්, සැබැවින්ම ඔහු කවුරුන්ද කෙබඳු අයකු ද යන්න මට තවමත් නිශ්චය කරගත නොහැක. ඒ නිදිමත සහ මත්පැන් භාවිතයත් සමග අපගේ මොළයේ මතක ගබඩාව සඳහා දත්තයන් ලබාගැනීම අඩාල හෝ මුළුමනින්ම අකර්මන්‍ය වන බැවිනි. එදා මගේ සිහි විකල් කරවීමට සමත් වූ අවතාරය පිළිබඳ කිසිදු බියක් දැන් මා තුළ නොමැත්තේ එනිසාය. අවුරුදු 26 කට පසු ඒ හොල්මන මට මුණ ගැසෙන්නේ ඔය ආකාරයෙනි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia