gossiplankaසෙවනපිටියට යන ගමනේදී ZD ඇල බිලිගත් දස දෙනා…


සෙවනපිටියටසාමකාමී මවුබිමේ අද මිනිසුන් මිය යන්නේ රිය අනතුරුවලිනි (සෙවනපිටියට) . හදිසි අනතුරුවලට භාජන වන ඔවුහු රටම හඬවා මිහිදන් වෙති. පසුගිය 18 දින අලුත් අවුරුද්දේ නෑගම් ගිය දෙහිඅත්තකණ්ඩිය විජයපුර ප්‍රදේශයේ දස දෙනෙකු යළි පැමිණියේ අවසන් ගමන් යෑමට සූදානම්වය.
මහවැලි ‘බී’ කලාපයේ කෙත් බිම් හෙක්ටයාර් 23000 කට ජලය සපයන මහවැලි ඉසෙඩ් ඩී ඇළ 1982 සිට 2014 දක්වා බිලිගත් ජිවිත ප්‍රමාණය ඉතා විශාලය. ඒ අතර මිනිස් ජිවිත මෙන්ම වන සතුන් ද විශාල ප්‍රමාණයකි. නමුත් එකවර ජිවිත දහයක් ඇළට බිලිවූ ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙම බිහිසුණු අනතුරට මුහුණ දී දිවි බේරා ගැනීමට සමත් වූ ඩි. එම්. ඉරේෂා මධුභාෂණී (අවු. 28) මහත්මිය එම සිදුවීම විස්තර කළාය.


“එදා 18 වැනිදා උදේ සෙවනපිටියට යන්න අපි දෙහිඅත්තකණ්ඩියෙන් පිටත් වුණා. මඟට යනකොට ට්‍රැක්ටරයෙ පිටුපස රෝදෙක රේසරයක් ගැලවුණා. ඒ වෙලාවේ කීප දෙනෙක් කිව්වා ආපසු හැරිලා යමු කියලා. නමුත් ආව ගමන සෙවනපිටියෙ යමු කියලා තවත් පිරිසක් කිව්වා. එයාලා කිව්ව විදිහට නැවත ගමන පටන් ගත්තා.
වෙහෙරගලින් ඉසෙඩ් ඩී ඇළ පාරේ සෙවනපිටියට යමු කියලා ඒ පාරට ට්‍රැක්ටරය හැරෙව්වා. එදා ඇළ ඇරලා වතුර ගොඩාක් තිබුණා. ඇළේ තිබෙන දියඇලි බලන්න පුළුවන් නිසා අපිත් මේ පාරේ යන්න කැමැති වුණා. ඇළ පාරට හරවලා ටික දුරක් යනකොට මට තේරුණා ට්‍රැක්ටරය පල්ලමකට යනවා කියලා. මම හිතුවා පාරේ පල්ලමක් ඇති කියලා. එහෙම හිතෙනවත් එක්කම අපි වතුරට වැටුණා. මම වතුරේ නොගිලී ඉන්න මහන්සි වුණා. කවුරුහරි ඇවිත් ඒ අතරේ මාව ගොඩට ගත්තා.”
පිරිවෙන් ගුරුවරයකු වන එම්. පී. බී. මංජුල සනත් මුතුනායක මහතාට මෙම අනතුරෙන් බිරිය සහ තුන් වසරක් වූ සිඟිති පුතණුවන් අහිමි වී ඇත. “අපි අවුරුද්දට අම්මා තාත්තා බලන්න ගෙදර ගිහිං 17 වැනිදා ආපසු එන්න සූදානම් වුණා. එනකොට තාත්තා කිව්වා නැන්දා බලන්න යන්න කියලා. ඊට පස්සේ 18 වැනිදා උදේ අපි සෙවනපිටිය බලා පිටත් වුණා.
බාධා වෙවී ගිය ගමන වෙහෙරගල, අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළෙන් අවසාන වුණා. මම බාප්පා එක්ක යතුරු පැදියෙන් ගියේ. ට්‍රැක්ටරය ඇළට පෙරළුණාට පස්සේ මම උදව් ඉල්ලලා කෑ ගැහුවා. මට පිහිනන්න බැහැ. මගේ පුතයි නෝනයි මං ඉදිරිපිටම වතුරේ ගිලුණා.” මංජුල මහතාට කිව හැකි වූයේ එපමණකි. තම මව, බිරිය, සුරතල් පුතුගේ නිසල දේහ අසලට ගිය ඔහු ඉකි ගසා හඬන්නට විය. සංවේදී හිතක් ඇති කිසිවෙකුට එය බලා සිටිය නොහැකි දසුනක් විය.
බණ්ඩාරගම, වල්ගම පදිංචි වීර කුමාර මුතුනායක මහතා සහ ඔහුගේ බිරියට සිටි දරු දෙදෙනා සෙව්මිණි හංසිකා මුතුනායක (අවු. 13) සහ නිපුන් විශ්ව මුතුනායක (අවු. 10) ය. පාණදුර සුමංගල විදුහලේ සිසු දරුවන් වූ මේ දෙදෙනාම ජල කඳට බිලිවී හමාරය.
“මමයි නෝනයි දරුවො දෙන්න එක්ක අවුරුද්දට ගමේ ආවා. දැන් දරුවො දෙන්නා පස් යට කරලා හිත හදාගෙන ගෙදර යන්නේ කොහොම ද? මේක හීනයක් ද කියලා මට හිතෙනවා” යැයි වීර කුමාර මහතා වැළපෙයි.sevana
දෙහිඅත්තකණ්ඩිය, නිකවත්තලන්ද අංක 20 හි පදිංචි ඒ. ඩී. ශානකට මෙම අනතුරින් මවුපියන් අහිමි වී ඇත. “දරුවකුට මේ ලෝකෙ ඉන්න වටිනාම වස්තුව අම්මා තාත්තා. යෝධයො වාගේ නිරෝගීව හිටිය ඒ දෙන්නම අද එකම වෙලාවෙ මට නැතිවී යනවා. මේ ලෝකේ කිසිම දරුවෙකුට මේ වගේ දුකක් ඇති වෙන්න එපා.”
ශානක මවුපියන්ගේ දේහයන් වැලඳගෙන හඬා වැටෙයි. දෙහිඅත්තකණ්ඩිය, විජයපුර අංක 158 හි වීරංග මුතුනායක මහතාට බිරිඳ, දියණිය, මුණුඹුරන්, මස්සිනා, නැඟණිය ඇතුළු සමීපතමයින් දස දෙනෙකුම අහිමි වී ඇත. තාවකාලිකව ඉදිකළ මඩුවේ උඩුකුරුව සැතපෙන නෑදෑයින් එකිනෙකා ළඟ යමින් හඬා වැටෙන ඔහු මුණුඹුරාට නැගිටින්න යැයි කියයි.
එය දකින සෙසු අයත් මැරි මැරී යළි උපදියි. මල්ලිකා ජයවීර (අවු. 50), ඒ. ජී. ටිකිරි මැණිකේ (අවු. 28), කවීෂ ප්‍රභාෂ්වර (අවු. 03), ඒ. ඩී. පත්මසිරි (අවු. 55), එම්. පී. බී. විරංජනි මුතුනායක (අවු. 50), එම්. පී. බී. විරංගනී මුතුනායක (අවු. 55), මංජුල ප්‍රදීප් (අවු. 24), නිපුන් විශ්ව මුතුනායක (අවු. 10), සෙව්මිණි හංසිකා මුතුනායක (අවු. 13), කවිෂා මල්ශානි ප්‍රේමරත්න (අවු. 09) යන දස දෙනා පසුගිය 21 සැන්දෑවේ දෙහිඅත්තකණ්ඩිය පොදු සුසාන භූමියේ එකම වළක මිහිදන් විය.
මහවැලි බී කලාපයේ ගොවි ජනතාවගේ ජීවනාලිය බඳු ඉසෙඩ් ඩී ඇළට තවත් ජිවිත බිළි ගැනීමට ඉඩ නොදිය යුතු යැයි මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී ජයසිරි බණ්ඩාර මහතා පවසයි.
“මේ ඇළ හැදුවෙ 1982 අවුරුද්දෙ. මාදුරුඔය ජලාශයේ සිට කිලෝමීටර 56 ක දුරක් අසේලපුර දක්වා කෙත්බිම්වලට ජලය සපයනවා. මුල් කාලේ මේ ඇළට වැටිලා අනතුරට පත් වුණේ කලාතුරකින්. ඒ කාලේ මේ ඇළට සමාන්තර මාර්ගය භාවිත කළේ මහවැලි වාහන විතරයි. අද ජනාවාස ඇති වීමත් එක්ක ජනතාව මේ මාර්ගය භාවිතයට ගන්න පුරුදු වෙලා.
මහවැලි අධිකාරිය මාර්ග බාධක යොදලා තිබුණත් ජනතාව ඒවා මඟ හැරලා වාහන ඇතුළු කරනවා. අනිත් කාරණය මාදුරුඔය වනෝද්‍යානයේ වල් අලි කෑම සොයාගෙන, වතුර හොයාගෙන ඇවිත් මේ ඇළට වැටිලා මිය යනවා. අපි මේ අනතුරු අවම කරගන්න මහවැලියට විකල්ප යෝජනා කීපයක් ඉදිරිපත් කළා.
එයින් පළමුවැන්න මීටර් 500 ක පරතරයකින් පඩිපේළි ඉදිකිරීම. අනාරක්ෂිත ස්ථානවලට යකඩ වැටවල් සවි කිරීම, ඇළේ ගසාගෙන යන කෙනෙකුට පඩිපෙළක් දැක්කොත් එතනට පිහිනලා ගොඩට යන්න පුළුවන්. කොතරම් දක්ෂ පිහිනුම් කරුවෙක් වුණත් ඇළේ සැඬ පහරට පරාද වෙනවා. මෙම ඉසෙඩ් ඩි ඇළ ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුයි.”
අරලගංවිල, දෙහිඅත්තකණ්ඩිය පමණක් නොව උතුරුමැද, නැ‍ඟෙනහිර පළාත්වල ගොවි ජනතාව වැඩි පිරිසක් තම ගමන් පහසුකම් සපයා ගන්නේ අත්ට්‍රැක්ටරයෙනි. එය අනතුරුදායක ලෙස භාවිත නොකිරීමේ වගකීම ඇත්තේ ද ජනතාවටමය. අනතුරක් සිදු වුවහොත් එහි චෝදනාව එන්නේ පොලීසියටය.
මෙම අනතුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී මහතා පැවසුවේ රියදුරාට ඇළ මාර්ගයේ වූ වංගුව හැරවූ පසු නැවත ට්‍රැක්ටරය මාර්ගයට ගත නොහැකිව ඇළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.
කෙසේ හෝ වටිනා ජීවිත දහයක් පසුගිය සතියේ රටට අහිමිව ගියේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඉසෙඩ් ඩි ඇළට සමාන්තර මාර්ගයේ ගමන් කරන අයගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia