gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

වැට් බදු වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.
රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් බදු වංචා කළ බවටයි, හිටපු කොමසාරිස්වරයා චෝදනා ලැබ සිටියේ.

වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි, ඥානසිරි සොයිසා නමැති විත්තිකරු ප්‍රකාශ කළේ.වරද පිළිගත් චූදිතයාට දඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය, ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි 1197 ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම කළාය.
නීතිපතිවරයා චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා තිස් හතරක් ඉදිරිපත් කර තිබුණි.

සිරගෙයි වසර තුනයි

එක් චෝදනාවට වසර තුනක් වන බැගින් චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුනසිරි සොයිසා ජයතිලකට වසර එකසිය දෙකක බරපතළ සිර දඬුවමක් නියම කළ විනිසුරුවරිය එම සියලු දඬුවම් වසර තුනකින් ගෙවී යා යුතු බවත් ප්‍රකාශ කළාය.
එම තීන්දුව අනුව ,විත්තිකරුට සිර දඬුවම් විඳීමට සිදු වන්නේ වසර තුනක පමණ කාලයක් පමණි.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්ති පාර්ශවයේ නීතිවේදියා, සිය සේවා දායකයා වසර අටකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇති හෙයින් ඔහුට ලිහිල් දඬුවමක් පනවන මෙන් ඉල්ලා සිටියේය.
එහෙත් රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේ,විත්තිකරු ව්‍යාජ සමාගම් විසි පහක් ලියා පදිංචි කොට ඒ හරහා වැට් බදු වංචාව සිදු කර ඇති බවයි.

දඩ නොගෙව්වොත්

නීති විරෝධී ලෙස ඔහු විසින් අත්සන් කරන ලද චෙක්පත් දෙසිය පනස් අටක් මාර්ගයෙන් ඉහත කී වංචාව ඔහු සිදු කර ඇති බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ.
වැට් බදු වංචා සිදු කළ වසර දෙකක කාල සීමාව තුළ විත්තිකරු රුපියල් කෝටි පනහකට අධික දේපළ උපයා ගෙන ඇතැයි සදහන් කළ රජයේ නීතිඥවරයා, එම දේපළ උපයා ගන්නා ලද ආකාරය පැහැදිලි කිරීමට ඔහු අසමත් වී ඇති බවත් පෙන්වා දුන්නේය.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරිය, දඩ මුදල මාසයක් තුළ නොගෙවන්නේ නම් විත්තිකරු සතු සියලු දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළාය.

වැට් බදු වංචාවට සම්බන්ධ තවත් කීප දෙනෙක් රට හැර ගොස් ඇති බවත් වාර්තා වෙයි.


gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia