gossiplankanews.com- අහුන්ගල්ලේ මොහොමඩ් ගේ සතුන් වත්තේදී දරුවෙක් ගේ බෙල්ල කෑ සිංහයා

අහුන්ගල්ලේ පෞද්ගලික සතුන් වත්ත තුළදී එළිමහනේ සිටි සිංහයකු පාසල් සිසුවකු සපා මරා දැමීමේ සිද්ධිය මේ රටේ මතු නොව දේශ දේශාන්තරයේදී පවා රැව් දුන් ආන්දෝලනාත්මක සිද්ධියකි. මේ සතුන් වත්ත ආසියාවේ පැවැති එළිමහන් පළමුවැනි සතුන් වත්ත වූ අතර, ලෝකයේ එවැනි ආකාරයේ පස්වැනි සතුන් වත්ත ලෙස නම්වර ලැබීය.
සතුන්පොල්ගහවෙල පොරමඩල විදුහලේ අවුරුදු 14 ක සිසුවකු වන දමිත් අනුරුද්ධ ශිෂ්‍යයා තම පාසලේ වෙනත් සිසුන් හා ගුරුවරුන් සමඟ අධ්‍යාපන චාරිකාවක පැමිණි ගමනේදී මෙහි සිටි ශ්‍යාම් නමැති සිංහයාගේ පහර දීමෙන් එසේ මරුමුවට පත්විය. වර්ෂ 1997 ක් වූ පෙබරවාරි 20 දා වූ මේ සිද්ධියට දැන් වසර 17 කි. මේ එම සිද්ධිය පසුබිම් කැරගත් අද කතාවයි.

පොරමඩල විදුහල හෙවත් සිරි පැරැකුම් විදුහල පිහිටියේ පොල්ගහවෙල මහමෙව්නාවට පිවිසෙන මාර්ගයේ මඳ දුරක් ගිය තැනෙකය. දැනටත් එම පාසලේ ඇත්තේ සිසුන් 60 ක් පමණෙකි. ඒත් 6 වැන්නේ සිට 13 වසර දක්වා අදත් එහි පංති පැවැත්වෙයි. කීර්තිමත් සිසුන් දහස් ගණනක් බිහි කොට වැසෙන්නට ගිය මේ විදුහල අප්‍රතිහත ධෛර්යයෙන් රැකබලා ගන්නා වත්මන් විදුහල්පති වීරසූරිය මහතා අපට මෙසේ කියයි.
මං මේ විදුහලට ඇවිත් දැන් අවුරුදු 3 ක් විතර වෙනවා. මේ සිද්ධිය වූ කාලේ හිටියේ විදුහල්පතිනියක්. හේමා නවරත්න මහත්මිය. පත්තරවල මේ සිද්ධිය සම්බන්ධව පළවූ ලිපි සිය ගණනක් විතර අපි පොතක් ලෙස එකතු කරලත් තියෙනවා. හරිම කනගාටුදායකයි. මා හිතන්නේ මෙවැනි දෙයක් සිදුවී ඇත්තේ හැම පාර්ශ්වයේම වරදකින්.
පළමුවැන්න ළමයින් විනයගරුක වෙන්ඩ ඕනෑ. දෙවැන්න ගුරුවරුන් මීට වඩා දරුවන් ගැන අවධානය යොමු කරන්ඩ ඕනෑ. තෙවැන්න එවැනි එළිමහන් සතුන් ඉන්නා තැන් පිළිබඳව මීට වඩා රජය සැලකිලිමත් නීති පද්ධතියක් දාන්ඩ ඕනෑ. මේ අහිංසක දරුවා මිය ගියාට පස්සෙ ඒ සතුන් වත්ත වහලා දැම්මා. මා හිතන්නේ පෙර සූදානමයි හැම තැනම වැදගත්.
වත්මන් විදුහල්පතිවරයාගේ කතාවට අනුව මට වැටහුණේ මේ සිද්ධි දාමයේදී අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමක් සිදුවූ බවයි. කෙසේ නමුත් මෙහි ප්‍රධාන කතා නායිකාව වන්නේ මියගිය සිසුවාගේ මව වන ඩී. ඉසිලින් නෝනාය. පාසල් වත්තෙන් එපිට කුඩා වත්තක නිවෙසක සිටින ඇය මේ සිද්ධිය සිහි කරනු නොහී අදත් වැළහින්නක මෙන් හඬන්නීය. මේ පාසලේ ආපන ශාලාව එහි විදුහල්පති හා ගුරු මණ්ඩලයේ කාරුණික ආශිර්වාදයෙන් පවත්වාගෙන යන්නී මේ මියගිය දමිත්ගේ අම්මාය. ඇය කඩින් කඩ හඬමින් ඉකි බිඳිමින් කියූ දේ මම එකවර ඔබට ලියමි.
මව ඉසිලින් නෝනා
“මං නොවිඳිනා දුක් විඳලයි මේ දරු පැටව් ලොකු මහත් කළේ. මට ඉන්නේ පිරිමි දරුවොම 4 ක්. සිංහයා මරා දැම්මෙ මගේ පොඩි පුතා දමිත් අනුරුද්ධ. දරුවන් පුංචි සන්දියෙම මගෙ මහත්මයා නැති වුණා. ඉස්කෝලෙට එහා වත්තෙ මගෙ වත්තෙ මායිම. මං එතැන ඉඳන් දරුවන්ට මොනවා හරි විකුණලා යම් අතමිටක් සොයා ගත්තා. පොඩි පොඩි කුලී වැඩත් කළා. ලොකු පුතාගෙන් සහයෝගය මට ලැබුණා.
පොඩි පුතාට ඒ කාලෙ යම්තම් අවුරුදු 14 යි. පාසලෙන් යන අධ්‍යාපන චාරිකාවට එයා සල්ලි ඉල්ලා හිටියා. ඒ කාලෙ ගණන රුපියල් 100 ක්. ලොකු පුතා මල්ලි මේ ගමන යනවට බලවත් ලෙස විරුද්ධ වුණා. “මෙයා සිංහයන්ට, කොටියන්ට කිට්ටු වෙලා පින්තූර ගන්ඩ යයි. මෙයාව යවන්ඩ එපා” එයා කීවා.
ඒත් පොඩි පුතාගෙ පෙරැත්තය නිසාම අන්තිමේ ට්‍රිප් එකට සල්ලි හොයලා දුන්නා. ඒත් ලොකු අයියා ෆිල්ම් රෝල් ගන්ඩ සල්ලි දෙන්නෙම නෑ කීවා. පොටෝ ගන්ඩ සතුන් ළඟට යාවි කියලා. මාත් ඒකට හරහටම හිටියා. ඒත් පුතයි පුතාගෙ ළග යාළුවෙක් වන රන්දිලුයි ‘ෆිල්ම් රෝල්’ ගන්ඩ පළාතෙම තියෙන ඉරටු එකතු කරලා ඉදල් හදන කඩවලට දීලා සල්ලි හොයාගෙන. ඒ කාලෙ ඉරටු අරන් තිබුණේ කිලෝ එකම රුපියල් 10 කට. මේ ට්‍රිප් එකට පාසලෙන් බස් දෙකක් ගියා. දරුවන් 140 ක් ගුරුවරුන් 14 ක්, මාපියන් 5 කුත් සහභාගි වෙලා තිබුණා. ඒ නිසා බයක් තිබුණෙම නෑ.
ඒත් දෙවියනේ! පුතාට සිංහයා ගහලා බෙල්ල විකලා මරලා තිබුණු දවසෙ දහවල් 1.30 ට විතර ගෙදර වැඩ කරමින් ඉඳලා එළිපත්තට ආපු මට එකපාර මහා කළුවර ගුලියක් පෙනුණා. ඒත් එක්කම පුතාගෙ හඬ ඇහුණා. අම්මෙ, මං ගෙදර ආවා අම්මෙ… කිව්වා වගේ. ඊට පස්සෙ හොඳින් බලනකොට කවුරුවත් පේන්ඩ නෑ. අනේ! දෙවියනේ මගෙ දරුවා හොරු අරන් ගියා වගේ.
මගෙ පුතා දඟ නෑ. එයා හරිම අහිංසකයි. චිත්‍ර විෂයට හරිම දක්ෂයි. මහත්මයාව වුණත් ඔය ඉන්න විදියටම එයාට අඳින්ඩ පුළුවන්කම තිබුණා. ගුරුවරුන්ටත් කීකරුයි. අද එයා හිටියානම් අනිවාර්යයෙන්ම චිත්‍ර ගුරුවරයෙක් වේවි. මගෙ බලාපොරොත්තුව තිබුණෙත් එහෙම. එයා සමස්ත ලංකා චිත්‍ර තරග දිනලත් තියෙනවා. ඒත් කාගේ හෝ වරදකින් මට මගේ පුතා නැතිවුණා.
සතුන් වත්ත අයිතිකාර මොහොමඩ් මහත්මයා මගේ දරුවගෙ මළගමට සල්ලි දුන්නෙ. තුන් මාසෙ වෙනකම්ම එයා බලලා තියෙනවා. මට නම් එදා කල්පනාවක් නෑ. දවස් ගණනාවක් මං කෑම කැවේවත් නෑ මහත්මයො. මොහොමඩ් මහත්මයා රුපියල් ලක්ෂ 2 ක් වන්දි වශයෙන් දුන්නා.
මගෙ පුතා මට කෝටියක් වටිනවා. ඒ කාලෙ මෙහෙ හිටපු ආණ්ඩුකාර තුමා මට කීවා ඔයා එන්න මං ඔයාට කෝටි 1/2 ක් සල්ලි අරන් දෙන්නම්. මේ සතුන් වත්ත වහනවා විතරක් නොවේ ඔයාට විශාල වන්දියකුත් අරන් දෙනවා කියලා. මට මගේ පුතා නැතිවෙලා තැන් තැන්වල රස්තියාදු වෙන්ඩ බෑ.
කෝටියක් ලැබුණත් මට මගෙ පුතා ගෙනත් දෙන්ඩ ඔය කාටවත් බෑ. මං ඒ අයට කීවා මගෙ පුතා ගෙනත් දෙනවානම් ඕනෑ තැනක මේ අවනඩුව කියන්ඩ එන්නම් කියලා. අදටත් මගෙ පපුවෙ පත්තු වෙන ගින්දර දන්නෙ මං විතරයි. ඒ නිසා ඒ වගේ පෞද්ගලික සතුන් වතු මේ රටේ නැවත ඇති කළොත් මං ජනාධිපතිතුමා හරි හමුවෙලා ඒක නවත්වා ගන්නවා. මට වෙච්ච අසාධාරණේ තවත් අම්මෙකුට, දරුවෙකු වෙන්ඩ දෙන්නෙ නෑ.
ඇයගේ හද පුරා නැ‍ඟෙන ගින්න සාධාරණය. තමන්ගෙ අසරණ කාටත් කරදරයක් නැති දරුවා සිංහයකු මරා දැමු බැව් අසන අම්මා කෙනෙකුගේ හෘද ස්පන්දනය ඔබටත් දැනේනම්…
එදා ඒ අධ්‍යාපන චාරිකාවට සහභාගිවූ බොහෝ ගුරුවරුන් අද විශ්‍රාමිකය. ඒ ගුරුවරුන් අතර ජීවත්වන්නවුන් සොයා ගම් පිරීමට පෙර, මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය හමුවීමට මම වෙර දරමි. ඇය එදා පාසලට අලුතින් ආ උප ගුරුවරියකි. ඇය අද මේ පාසලේ සිටින එකම ගුරු සාක්කියයි. යූ. ජි. ස්වර්ණා දිසානායක නම් වූ ඇය මෙසේ කීවාය.
“එදා අධ්‍යාපන චාරිකාව ඒ වගේ කනගාටුදායක සිදුවීමකින් නිමා කරන්න සිදුවෙයි කියලා අපටත් හිතුණේ නෑ. අපි එදා මුලින්ම ගියේ රත්මලානේ වීදුරු කර්මාන්ත ශාලාව බලන්ඩ. ඊට පස්සෙ අපට තිබුණේ කළුතර බෝධිය වැඳලා අහුන්ගල්ල සතුන් වත්තත් බලලා හික්කඩුවෙ කොරල් පර බලන්ඩ යන්ඩයි.
වීදුරු කර්මාන්ත ශාලාව බලලා ටිකක් වෙලාව ගිය නිසා කළුතර බෝධිය ළඟ නවත්වන්නෙ නැතිව අපි ගියා අහුන්ගල්ලට. එතකොට වෙලාව දහවල් 1 යි. දරුවන් එක්ක එදා දිවා ආහාරය අරගෙන 1.30 විතර වෙනකොට සතුන් වත්තටත් ගියා. මේ දරුවන් 140 කණ්ඩායම් 20 කට බෙදලයි තිබුණේ.
අනුරුද්ධ හිටියෙ ශ්‍යාමා පුෂ්පමාලී මිස්ගෙ කණ්ඩායමේ. ළමයින් පේළි ගස්වලා සරත් චන්ද්‍රනායක මහත්මයා ප්‍රවේශපත්‍ර ගන්ඩ කවුන්ටරය ළඟට ගියා. ඒත් ඒ වෙනකොටත් මේ දරුවා අනුරුද්ධයි එයාගෙ යාළුවා රන්දිලුයි ඇතුළට ගිහිල්ලත් ඉවරයි. අපි දන්නෙත් නෑ. සිංහයා ළඟ ඡායාරූප ගන්නකොට සතා එකපාර පැනලා දරුවාව කටින් අල්ලලා.
මෙතැන එකම ගාලගෝට්ටියක්. ගුරුවරුන් සියල්ලන්ම අන්දමන්ද වුණා. කණ්ඩායම බාරව සිටි ගුරුවරියටවත් අපේ කණ්ඩායමේ ගුරුන්ටත් හිතන්ඩ තරම්වත් වෙලාවක් නෑ. සිද්ධිය ඇහිල්ලකින් ඉවරයි. මේ දරුවාගේ මරණය ගැන අපත් ගුරු අම්මාවරුන් හැටියට කනගාටු වෙනවා” ඇගේ හඬ යටපත් කරමින් නැවත මට අනුරුද්ධගේ මවගේ හඬ ඇසෙයි.
“සිංහයා නිදැල්ලේ ඉන්නා බව දැනගෙනයි මේ කට්ටිය එතැනට ගියේ. එයත් සමඟ ඉස්සෙල්ලාම පින්තූර අරන් තියෙන්නෙ රන්දිල්. ඊට තප්පර දෙකකට පස්සෙ මගෙ පුතා එතැන සිංහයා ළඟ වාඩිවෙලා තියෙන්නේ. එක පාර සිංහයා ගොරවලා මගෙ පුතාගෙ බෙල්ලටම පැනලා සතෙක් වගේ ඩැහැගෙන. එයාගේ යාළුව, රන්දිල් බේරුණේ නූලෙන්. උස කම්බි වැටක් දිගේ නැඟලා. ගුරුවරුන්ට දොස් කියන්ඩ හොඳ නෑ. ඒත් මගෙ දරුවා දඟයෙක් නම් නොවේ…”
රන්දිල් ජයකොඩි නම් එදා ශිෂ්‍යයා සිංහයාගෙන් නූලෙන් බේරුණු බව ඇසීමෙන් මම ඔහු සොයා ගැනීමේ අභිප්‍රායෙන් වෙහෙසෙමි. ඒ දරුවා අද වැඩිහිටියෙකි. ඔහුට ද කුඩා දරුවෙක් සිටී. කොළඹ මරදානේ එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන රන්දිල් පොරමඬල ගමේම කෙළවරක දිවි ගෙවයි.
අපි ගුරු මහත්ම මහත්මීන්ට හරිම ආදරෙයි. ඒ අයට අගෞරවයක් කරන්ඩ මා කැමැති නෑ. ඒ නිසා වෙනත් විස්තර නොකියා සිද්ධිය ගැන විතරක් කියන්නම්.
“මං තමයි සිංහයා ළඟ ඉස්සෙල්ලාම පින්තූර ගත්තෙ. ඒ සතා සමඟ පින්තූර ගන්ඩ අනුරුද්ධ බය වුණා. මාත් මුලින් බය වුණා. එතැන සිටි සේවකයා කීවා බය වෙන්ඩ එපා. එයා කීකරුයි. පින්තූර ගන්ඩ කියලා. අනුරුද්ධ බයෙන් බයෙන් වාඩිවෙද්දී එකපාරම ගොරවාගෙන සිංහයා නැගිට්ටා. පැනපු ගමන් අනුරුද්ධගේ බෙල්ලෙන් අල්ලා ගත්තා.
සිංහයා සිටි තැන අහිංසකයාගේ ලේ ගලලා ලේ විලක් වුණා. ඒ වෙලාවෙ අර බලාගත්ත කම්කරුවා සිංහයා පාලනය කරන්ඩ උත්සාහ කළා. කට්ටියක් අනුරුද්ධව අරන් දිව්වා. මං බේරෙන්ඩ එතැන තිබු කම්බි වැටේ ඉහළට නැංගා. සිංහයාගේ ගෙරවිල්ලයි වලිගය වැනිල්ලයි ඉවරයක් නෑ. ඒ අතර සිංහයා මාව ඩැහැගන්ඩ දඟලනකොට එයාගෙ නිය පහරකට මගේ කලිසම ඉරුණා.
මං අම්මගෙන් බිව් කිරි ටික මතක් වුණා. කොහොමහරි සිංහයාව පාලනය කරලා කම්කරුවො එයාව වෙනත් පැත්තකට ගෙන ගියා. ඊට පස්සෙයි මට බේරෙන්ඩ පුළුවන් වුණේ. සිද්ධිය වෙලා විනාඩි දෙක තුනක් යනකොට අර සිංහයා සිටි තැන ලෙයින් තෙත්වූ තැන සෝදලත් ඉවරයි. මේක හරිම අවාසනාවක්. මට මගේ යාළුවා නැතිවුණා. එදා මගේ යාළුවා හරහට තියාගෙන ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ රතනපාල සර්…
ඒ රතනපාල සර් දැන් විශ්‍රාමිකයි. එහෙත් ජීවතුන් අතරය. පොල්ගහවෙල ලෙව්දෙණිය ගමේ පදිංචි රතනපාල ගුරුතුමා සොයා ගැනීම තරමක් දුෂ්කර විය.
මගෙ නම එච්. ඩි. රතනපාල. මට දැන් අවුරුදු 66 ක්. එදා ඒ සිද්ධිය වෙනකොට මං පොරමඩල ඉස්කෝලෙ කෘෂිකර්ම ගුරුවරයා. නියමිත පිළිවෙළට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ‘ට්‍රිප්’ එක ගියේ. අපි මුලින්ම ගියේ කැලණියට. ඊළඟට රත්මලාන වීදුරු කර්මාන්ත ශාලාව.
අහුන්ගල්ලට යන විට දහවල් 1.30 යි. මං ටිකට් කවුන්ටරය ළඟ සරත් චන්ද්‍රනායක සර් එක්ක හිටියෙ. එක දරුවෙක්ට නරඹන්ට අවර දීමට රුපියල් 20 ක් ඉල්ලුවා. මං එක දරුවකුට රුපියල් 10 ක් ගන්ඩ කියලා එහි පරිපාලනය සමඟ කතාවක හිටියෙ. එකපාර මර‍ළතෝනියක් ඇහුණා. බස් දෙකක් අරන් ගුරුවරු 14 ක් ළමයින් 140 ක් අරන් මේ ගමන ගියේ. මං තමයි ගමනේ සංවිධායක. බලනකොට අපේ ළමයෙක් සිංහයකු ඩැහැගෙන.
ඒ දරුවාත් අරන් අපි ඒ අයගෙම වාහනයකින් කරාපිටිය රෝහලට ගෙන යන්ඩ හැදුවත් මඟදි ළමයා සුදු මැළිවෙලා අසාධ්‍ය බව පෙන්වන නිසා බළපිටිය රෝහලට ඇතුළු කළා. ඇතුළු කරලා විනාඩි දෙක තුනක් ගියේ නෑ. දොස්තර මහත්මයා කීවා දරුවා මැරුණා කියලා. මාව එකපාරටම සිහි නැතිව වැටිලා තියෙනවා.
මේ සත්තු නිර්වින්දනය කරලා ඒ අය නිසොල්මන් වුණාමයි අර විදියට ඉන්නෙ කියලා සමහරුන් කීවා. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. මට මගේ ජීවිතේ මේ සිද්ධිය විශාල පසුතැවීමක් ඇති කළා. අලින්ට භාෂාවක් තියෙනවා. මර්මස්ථාන තියෙනවා. කොටින්ට සිංහයන්ට භාෂාවක් නෑ. නිලයක් නෑ.
ඉතින්! මේ අය විශ්වාස කරලා ළඟට යන්නෙ කොහොම ද? දරුවා මළේ ෆොටෝ ගන්ඩ ළගටම ගිය නිසයි. සතුන්ව කවරදාවත් විශ්වාස කරන්ඩ බෑ කීකරුයි කියලා. මේ සිද්ධියෙන් හෙළිවන්නේ ඒ ඇත්ත. දරුවා මියගියාට පස්සෙ ඒ සතුන් වත්ත වැහුණා. මේ වගේ සතුන් වතුවලට නම් රජය මීට පස්සෙ කිසිම අනුමැතියක් දෙන්ඩ එපා.
ස්වර්ණා ගුරුතුමිය කී තවත් කතාවක් මගේ මතකයට එයි. “අපි මේ සිද්ධිය වටා ගොඩක් විමර්ශනය කළා. මේ දරුවා එතැනට යන්ඩ පෙර තවත් ඉස්කෝලෙක ළමයින් සතුන් එක්ක පින්තූර අරගෙන. කෑගල්ලේ ජනප්‍රිය කාන්තා විදුහලක ළමයි. සමහර විට කාන්තාවන්ට සිංහයා දක්වන ප්‍රතිචාරය නරක ද යන වග.
ඊළඟට දරුවාට සතා පෑගුණාවත් ද කියලා. එහෙම වෙලත් නෑ. ඊළඟට දරුවා කෑ දෙයකින් සිංහයාට අමුතු කුයිලක් දැනුණා ද යන වග…. දරුවා එදා කෑවේ අලයි පොල්සම්බෝලයි බතුයි ඊට පැය භාගයකට පෙර. එහෙමත් නැත්නම් කළුතර බෝධියට යන්ඩ කලින් සැලසුමේ තිබිලා ඒක නැවතු නිසා ද යන වග. මේ වගේ විවිධ කෝණවලින් සොයා බැලුවත් මේ සිදුවීමට හරි පිළිතුරක් ලැබුණේ නෑ.
මේ සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරුවා වූයේ අහුන්ගල්ල පෞද්ගලික සතුන් වත්ත හිමිකාරයාව සිටි හිටපු බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ්ය. අපි පොල්ගහවෙල සිට කඩුවෙලින් අධිවේග මාර්ගය ඔස්සේ වැලිපැන්නට ගොස් ඒ හරහා බේරුවලට පැමිණ ඔහු හමුවීමු. එය හරිම දුෂ්කර අභ්‍යාසයක් වීය.
මේක ආසියාවේ පළමු එළිමහන් සතුන් වත්ත. ලෝකෙම මේ වගේ පස්වැනි සතුන් වත්ත. මේ සතුන් වත්ත නිසාම ලෝකයේත් අහුන්ගල්ල යන නම ප්‍රසිද්ධ වුණා. ගමේ පැල්පත් ලොකු ගෙවල් බවට පත්වුණා. එන අයට අවශ්‍ය කෑම බීම, තැඹිලි පලතුරු ආදිය සපයලා. ප්‍රාදේශීය සභාව එන වාහනවලින් බදු අරන් සේවකයන්ට පඩිනඩි ගෙව්වා. මේ ගම සිංහල බෞද්ධ ජනතාවක් ඉන්නා ගමක්. මගේ ජාතිය මුස්ලිම්. ආගම ඉස්ලාම්. ඒක මුල් කාලෙ කාටත් ප්‍රශ්නයක් වුණේ නෑ.
මං ඉස්කෝලෙ යනකොටත් ලේන් පැටව් සාක්කුවේ දාගෙන ගිහින් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා තියෙනවා. ඒ අයට කිරි පොවන්ඩ ගුරුන්ගෙන් අවසර අරන් ගෙදර ඇවිත් තියෙනවා. මුලින්ම මට ඉඩම් කෑල්ලක් දුන්නෙ නීතිඥ අමරසේකර මහත්මයා. පස්සේ මේ පුංචි ඉඩම අක්කර 3 1/2 ක් දක්වා ලොකු වුණා. පළාතේ කුඹුරු අස්වද්දන කාලෙට හමුවන පිඹුරන් වැනි සතුන් මුගටින් හෝතඹුවන් ගමේ මිනිස්සු මට ගෙනැත් දුන්නා.
මේ විදියටයි මගේ සතුන් ඇති කිරීමේ ආසාව වැඩෙන්නෙ. දවසක් මං මාදු ග‍ඟේ සුද්දියක් හා තවත් කට්ටියක් එක්ක බෝට්ටුවකින් සංචාරෙක යනවා. අපට පේනවා ඈත ජා කොටු අතරින් එන ඔරුවක තරමක කොල්ලෙක් සතෙක්ව ඔරු පත්තෙ ගගහා කෑ ගගහා සතුටු වෙනවා. සතාත් ඔරු පත්තෙ වදින වාරයක් පාසා වේදනාවෙන් කෑෂ්… කෑෂ් ගහමින් මරහඬ දෙනවා.
ළංවෙලා බලනකොට කොලුවා මේ විදියට තළන්නෙ කිඹුල් පැටියෙකුට. හේතුව එයා ජා කොටු අතරට පැනලා මාළු හපන නිසයි. මගේ බෝට්ටුවෙ හිටපු සුද්දි සංවේදීව අඬන්න පටන් ගත්තා. එයා කොල්ලට ඉල්ලන තරමක් සල්ලි දෙන්නම් කිඹුල් පැටියා ගඟට දාන්න කියලා ඉල්ලීම් කළා. කොල්ලා කැමැති වුණේ නෑ. මේ ගඟට දානවානම් කීයටවත් දෙන්නෙ නෑ කොලුවා කීවා.
අන්තිමේ මං ඉල්ලුවා මගේ සතුන් වත්තට. කොල්ලා සතා දුන්නා රුපියල් 50 ක් අරන්. ඒ සතා මගෙ දරු පැටියන් එක්ක වැඩුණේ. මේකෙ සිටි කොටි සිංහයෝ වලස්සුත් එහෙමයි. (ඔහු එසේ කියමින් ඔහුගේ බිරිය දරුවන් සතුන් සුරතල් කරන පින්තූර ගොන්නක් පෙන්වයි) මා ළඟ හිටි වලස් පැටවා මට හමුවුණේ වවුනියාවේදී. එස්. ටී. එ‍ෆ්. එකේ එස්. එස්. පී. සහබන්දු මහත්මයා හරහා. (ඔහු දිගමට ඒ සතා ලැබුණු විස්තර ද කියයි) මම අදාළ සිද්ධිය විමසමි.
මේ දරුවා ගැන මට කනගාටුයි. ඒ වගේ දෙයක් වෙනවා කියලා දන්නවානම් මා සතුන් වත්තක් කරන්නෙත් නෑ. මේ ශ්‍යාම් කියන සිංහයාගේ නමේ අරුත සාමය එයා මේ වගේ දෙයක් කරයි කියලා මා හිතුවෙත් නෑ. මා ඒ සතුන්ට හොඳට සැලකුවා.
දවසට මේ සතුන් වත්ත සඳහා මට රුපියල් 35,000 ක් වියදම්. මං මේ සතුන් වත්ත වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000 ක් වියදම් කළ මනුස්සයෙක්. මං ඒ දරුවාගේ මළගමට වියදම් කළා. වන්දි ලක්ෂ 2 ක් දුන්නා. වෙනම තවත් 50,000 ක් දුන්නා.
එදා දරුවා සිංහයාගේ කනට කෝටුවක් දාලා තියෙනවා. (මම ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළෙමි. මගේ සමීක්ෂණයට අනුව අනුරුද්ධ ‍බයෙන් ගැහෙන කොලු පැටියෙකි) දරුවා ගෙන ගියාට පස්සෙත් කට්ටිය සිංහයත් එක්ක ෆොටෝ ගහලා තියෙනවා. (එයට ද මම තදින් විරුද්ධ වෙමි.)
බෙල්ලෙන් ළමයෙක් ඇල්ලුවට පස්සේ කවුද? ඌට කිට්ටු වන්නේ මම අසමි. සිද්ධියෙන් පස්සේ ඇයි එතැන ලේ ගංගාව සේදුවෙ? මගේ ප්‍රශ්නයට ඔහු කීවේ ඒ සේවකයන් කරලා තියෙන වැඩක් යන්නය.
මගේ සතුන් වත්ත නිසා ගම නැඟුණා. කාගෙත් කරල පෑහුණා. ඒ නිසා ම ජීවත්වන පිරිස් ඇතිවුණා. අද ඒ කාටත් වැරදිලා. ඒත් මට වැරැදිලා නෑ. සතුන් වත්ත වහන්නෙ නැතිව ඒකට නීති පද්ධතියක් දාලා අවසර දුන්නානම් නේද? හොඳ! ඔහු අසයි.
එදා වනජීවි එකේ හිටි සමහර ලොකු මහත්වරු මගෙන් අල්ලස් ඉල්ලුවා. මං ඒවා දුන්නෙ නෑ. ඒකයි සත්තු වත්ත වැහුවෙ. මේ සිද්ධිය හේතුවක් කරගෙන. ලෝකයේ වෙනත් සතුන් වතුවලත් මේ වගේ සිද්ධීන් වෙනවා. අපට ලෝකයේ විශාල සංචාරක වටිනාකමක් ලබා දුන් මේ සතුන් වත්ත අපේ රටට අභිමානයක් වෙන්ඩ තිබුණා.
මං ලෝකෙ සංචාරයකට යනකොට ඒ රටවල සතුන් වතු පරීක්ෂා කරනවා. ලෝකෙ පළමුවැනි සතුන් වත්ත ෂින්බෲස්. ඔස්ට්‍රියාවෙ තියෙන්නෙ. ඒ හැම එකක්ම බලලා මා හොඳට මේ සතුන් වත්ත හදාගෙන ආවෙ.
සතුන්ට ‘ඩ්‍රග්’ දුන්නා කියන කතාව මා ප්‍රතික්ෂේප කරනවා. මං සතුන්ට ආදරෙයි. මගෙ සිංහ ධේනුවක් එක වතාවෙ පැටව් 6 දෙනෙක් වැදුවා. ඒක ලෝක වාර්තාවක්. නිරෝගී සතුන්ටයි එහෙම දේවල් කරන්ඩ පුළුවන්. මිනිසුන්ගේ වගේම සතුන්ගේ කෙළ, මළ, මුත්‍රා, අරගෙන ඒවා ගැන පරීක්ෂණ කරන්ඩ කියලා මං පෝස්ටර් ගහලා ඉල්ලුවා.
ඔප්පු කළොත් ලක්ෂ 50 ක් දෙනවා කියලා. කවුරුවත් ඔප්පු කළේ නෑ. මගේ බලාපොරොත්තුව තිබුණේ මේක ලෝකෙම ලොකුම සත්තු වත්ත කරන්ඩ. මගේ ජාතිය ආගම නිසා මට මෙහෙම කළා කියලා හිතෙනවා.
බලය නිලය තිබියදී ක්ෂණිකව කරන දේවල් කළාට කිසිම ජගතකුටවත් ඒ වගේ බලයක් නැවතත් ලැබුණත් ඒවා කරන්ඩ බෑ. මගෙ සත්තු ටික දෙහිවල සතුන් වත්තට ගෙන ගියාම මගෙ දරුවො ඇඬුවා. මාත් මාස ගණනක් දුක් වුණා. ඒ අයයි අපේ පවුලෙ අයයි එක පවුලේ අය වගෙ හිටියේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia