gossiplankanews.com- තමා දූෂණය කිරීමට ආ ඊජිප්තුවා මැරූ අපේ කතගේ ඉරණම කුමක් වෙයි ද ?


knifethreatගෘහ සේවිකාවක ලෙස කුවේට් රටේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඊජිප්තු ජාතිකයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම මැද පෙරදිග කලාපයේ පසුගිය දිනවල කතාබහට ලක් වූ සිදුවීමක් විය. ‘අරැබ් ටයිම්ස්’ ඇතුළු මැද පෙරදිග කලාපයේ ජනප්‍රිය පුවත්පත් රැසක්ම මේ ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තියට  ඉඩ කඩ වෙන් කර තිබිණි.
ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එම ශ්‍රී ලාංකික කාන්තාව ඊජිප්තු ජාතිකයාව මරා දමා ඇතැයි සඳහන් වන්නේ ඇයව දූෂණය කරන්නට යාම නිසාය. කුවේටයේ හවාලි ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක සිදුවූ එම ඝාතනය ගැන එවන් මාධ්‍ය වාර්තා පළ වී තිබුණද  කුවේටයේ ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා සඳහන් කරන්නේ ඊජිප්තු ජාතිකයෙකුට පිහියෙන් ඇන මරා දැමීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් චෝදනා ලැබ ඇතත් එම ඝාතනය සිදුව ඇත්තේ ඇයව දූෂණය කිරීමට එම ඊජිප්තු ජාතිකයා උත්සාහ දැරීමකදී නොව වෙනත් කාරණයක් මුල්කරගෙන ඇති වූ ආරවුලකදී බවය. 

කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයා  සමග ඒ ගැන දුරකථනයෙන් තොරතුරු විමසීමක් කරන ලද අතර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතාගෙන්ද විමසීමක් කරනු ලැබිණි. ඇය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශයෙන් මතෛක් කිසිදු තොරතුරක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබි නැති බැවින් මංගල රන්දෙණිය මහතා ඒ ගැන වැඩි විස්තරයක් දැන සිටියේ නැත. “රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් නම් අපිට ඊට සෘජු මැදිහත් වීමක් කරන්න තිබුණා. මේ කියන සිද්ධිය සිවිල් ප්‍රශ්නයක්. එවැනි දේවලට මැදිහත් වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයයි. කෙසේ වෙතත්, ඇය මෙරටින්  ඒ රටේ සේවයට ගිය ගෘහ සේවිකාවක් නිසා මෙහිදී අපි ඇයව තනි කරන්නේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශයෙන් තොරතුරු ලැබුණු වහාම ඇයට අවශ්‍ය නීතිඥ සහය ලබා ගැනීමේදී යන වියදම් අපි දරනවා.” ඇය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට කළ හැක්කේ කුමක්දැයි මංගල රන්දෙණිය මහතා පැහැදිලි කර දෙන්නේ එසේය.
කුවේට් තානාපති සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා එම ඝාතනය ගැන බොහෝ තොරතුරු අනාවරණය කළේය. ඒ එම ශ්‍රී ලාංකීය කාන්තාවගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලීමක්ද කරමිනි. “මේ සිද්ධිය ගැන මේ වනවිට දන්නේ එම කාන්තාවගේ සැමියා විතරයි. එයා ඉන්නේ ලංකාවේ. අඩුම තරමින් එයාගේ දරුවන්වත් මේ ඝාතන සිද්ධිය ගැන දන්නේ නැහැ. ඒ සිද්ධිය ගැන අහළ පහළ අය හෝ දැන ගත්තොත් ඒ අයව මිනීමරුවන්  හැටියට හංවඩු ගැසේවි  කියලා එයා හිතනවා” තානාපතිවරයා එම ඉල්ලීම කරනු ලැබුවේ එසේ සඳහන් කරමිනි.
අපි ඇයට කුසුමලතා යැයි කියමු. කුසුමලතාගේ දැන් වයස අවුරුදු පනස් පහකි. තරුණ වියේදී ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රටට පා තබා ඇය මුල් කාලයේ එක් හාම්පුතෙකු යටතේ නිවසකට කොටු වෙමින් ගෘහ සේවයේ නිරතව සිටියත් දැන් ඇය ගෘහ සේවයේ නිරතව සිටින්නේ නිදහස් වීසා මගින් එක් ගෘහයකට හෝ එක් හාම්පුතෙකුට පමණක් කොටුවී නොවේ. එබැවින් ඇයට නවාතැන් ගැනීමටද සිදුවූයේ තමාගේම තැනකය.
ඇය කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටියේ යැයි සඳහන් වන්නේ කුවේටයේ හවාලි ප්‍රදේශයේ පිහිටි තට්ටු නිවාස 
සංකීර්ණයක නිවසකය. ඒ තනිවම නොව, තවත් කණ්ඩායමක් සමගිනි. ඒ අය නිවසේ කාමර බෙදාගෙන නිවසේ කුලිය ගෙවමින් ජීවත් වී ඇත.
කුසුමලතා එක් කාමරයක තනිවම සිටින අතරතුර ඊට යාබදව ඇති තවත් කාමරයක සිට ඇත්තේ ඊජිප්තු ජාතිකයා සහ ඔහුගේ ඉතියෝපියානු ජාතික බිරිඳය. ඒ අයද කුසුමලතා මෙන් විවෘත වීසා ඇතිව නිදහසේ එරට රැකියාවල නිරත වූවන්ය.
අනාවරණය වන ආකාරයට අනුව ඊජිප්තු ජාතිකයා කාන්තාවන්ට ලොල් වූ තැනැත්තෙකි. ඉතියෝපියානු බිරිඳ උදේම නැගිට රැකියාවට ගිය පසු ඔහු ඉඳහිට කාමරයට වෙනත් කාන්තාවන් ගෙන්වා ගැනීමට පුරුදුව සිට ඇත.
මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන මොහොතේ කුසුමලතා සිටින්නේ නිවසේය. එදා ඇයට රැකියාවට යන්නට තිබුණේ හවස් කාලයේදීය. කුසුමලතා පවසා ඇති ආකාරයට අනුව ඇය මුළුතැන්ගෙට වී ආහාර පිසින්නට සූදානම් වූවා පමණි. එකවරම ඇයට නිවසේ ඉදිරිපස දොර විවර වන හඬක් ඇසෙන්නට විය. ඒ වන විට නිවසේ සිටි එකම ප්‍රාණියා වූයේ කුසුමලතා පමණි. ඒ නිසාම ඇය ඒ ගැන තරමක් විමසිලිමත් වන්නට වූවාය. දොර හැරගෙන නිවසට ඇතුළු වී ඇත්තේ අසල කාමරයේ සිටින ඊජිප්තු ජාතිකයාය. කුසුමලතා ‍පොලීසියට පවසා ඇති ආකාරයට අනුව ඔහු අවුත් සිටියේ තනිවම නොව පිලිපීන ජාතික කාන්තාවක්ද තුරුළු කරගෙනය. ඒ දෙදෙනාම කාමරයට ගොස් දොර වසා ගන්නා අයුරු කුසුමලතා දුටුවාය. ඇයට එය අමුත්තක් නොවීය. ඒ සතියකට වරක් දෙවරක් ඔහු එවැන්නියක් කාමරයට කැඳවාගෙන එන බැවිනි. 
මඳ වේලාවකට පසු නැවතත් ඉදිරි දොර විවෘත වන හඬ කුසුමලතාට ඇසුණි. එවරද ඇය ඒ ගැන විමසිලිමත් වූයේ නැවතත් නිවසට ගොඩ වූයේ කවුරුන්දැයි කියා දැනගන්නටය. එවරද දොර විවර කරන්නේ ඊජිප්තු ජාතිකයාය. ඒ පිලිපීන ජාතික කාන්තාව ගෙන ආ කාරණාව ඉටු කරගෙන ඇයව නිවසින් පිටතට දමන්නටය.
“උඹ මගේ වැඩ ගැන ඕනෑවට වඩා හොයනවා” පිලිපීන ජාතික කාන්තාව පිටත් කර හැරීමෙන් පසු ඊජිප්තු ජාතිකයා කුසුමලතාගෙන් ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇතයි පැවසෙන්නේ ඇයට දොස් නගමිනි. 
එහිදී දෙදෙනා අතර ඇතිවන්නේ වචන හුවමාරුවකි. වාර්තා වන අන්දමට කුසුමලතාට ඊජිප්තු ජාතිකයාගෙන් පහරක් එල්ල වන්නේ මේ වචන හුවමාරුව ගැටුමක් බවට පත්වෙමිනි. මේ ගැටුම මොන තරම් දරුණු තත්ත්වයට පත් වූයේද යත් අවසානයේ කුසුමලතාගේ කොණ්ඩෙන් අල්ලාගත් ඊජිප්තු  ජාතිකයා ඇගේ හිස බිමට තද කරගෙන පහර පිට පහර දෙන්නට පටන් ගෙන ඇතැයිද වාර්තා වෙයි.
මුළුතැන්ගෙයි එළවළු කපමින් සිටි තමා දොර හැරෙන හඬ ගැන විමසිලිමත් වන්නට සාලයට පැමිණියේ  එළවළු කපන පිහියද අතින් ගෙන බව කුසුමලතා පවසා ඇත. ඊජිප්තු ජාතිකයා ඇයට පහර දෙනවිට පිහිය ඇගේ අතේය. කුසුමලතා පවසා ඇති ආකාරයට අනුව ඇය  පිහිය වටේට වනන්නට   පටන්ගෙන ඇත්තේ ඊජිප්තු ජාතිකයාගේ දැඩි ග්‍රහණයෙන් මිදීම සඳහාය. මඳ වේලාවකට පසු එකවරම ඇගේ කොණ්ඩය ඊජිප්තු ජාතිකයාගේ අතෙන් ගිලිහී ගියේය. ඇයට ඒත් සමගම දැනුනේ යම් සහනයකි. හිස ඔසවා ඇය හැරී බැලුවාය. කපා හෙලු කඳක් මෙන් ඔහු බිම වැටෙන්නට වූයේ උදරය අල්ලා ගෙනය. ඒ ඇය ගේ පිහි  පහරක් වැදීමෙන් ‍ලේ ගලන තුවාලයට අත තබා ගෙන එය සිරකරගෙනමය.
ඒත් සමගම බියට පත් වූ බව කියන කුසුමලතා කම්පනයට පත් සිතින් යුතුව වහා දිවයන්නේ හවාලි ‍පොලීසියටය. ඒ තමාගේ අතින් ඊජිප්තු ජාතිකයෙකු පිහි ඇනුමකට ලක්වූ බවත්, ඔහුව රෝහල් ගත කර ජීවිතය බේරා ගන්නා ලෙසත් පවසමිනි.
ඇය ඒ වන විට සිටින්නේ රාත්‍රියට හැඳි ඇඳුම පිටිනි. කොණ්ඩය පවා තිබුණේ අවුල් වීය. ඇගේ ස්වරූපය නිසා  ‍පොලීසිය සිතා ඇත්තේ ඇය කිසියම් මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙන්නියක වන්නට ඇතැයි කියාය. ඒ නිසා ඇය කියන කිසිවක් ‍පොලීසිය මුලින්  විශ්වාස කර නැති බවද පැවසේ. එසේම ඇය ගැන වැඩි තැකීමත් කර නැති බවද සඳහන්ය.  
“අර මනුස්සයා මැරෙයි. මම එනකොටත් එයාට අමාරුයි. අනේ එයාව බේරගන්න”. ඇය හඬා වැළපෙමින් ‍පොලිස් නිලධාරීන් හමුවේ පින්සෙන්ඩු වී ඇත.
කුසුමලතාගේ ඒ ඇවිටිල්ල ඉවසා ගන්නට බැරිම වූ තැන හවාලි ‍පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකු ඇයද කැටුව තට්ටු නිවාස සංකීර්ණයට ගොස් පරීක්ෂා කර බලන්නට තීරණය කළේය. ඒ ඇය ‍පොලීසියට ගොස් පැය එක හමාරකට පමණ පසුව බව සඳහන් වේ.
ඇය පිස්සියක් නොවන බවත් ඇය පවසා ඇත්තේ සැබෑවක් බවත් ‍පොලිස් නිලධාරීන්ට පසක් වන්නේ ඒ ගිය පසුවය. නමුත් ඒ අවස්ථාව වනවිට ඊජිප්තු ජාතිකයා සිටියේ සදහටම දෑස් පියාගෙනය. ඒ අධික රුධිර වහනය හේතුවෙනි. ‍පොලීසිය මුල් අවස්ථාවේම කුසුමලතාගේ වචනය විශ්වාස කර එම ස්ථානයට පැමිණියේ නම් සමහර විට ඔහුගේ ජීවිතය බේරෙන්නට පවා ඉඩ තිබිණි.
කෙසේ වෙතත් මේ වනවිට අවධානයට ලක්ව ඇති කාරණය වන්නේ මෙම මරණය සම්බන්ධයෙන් කුසුමලතාට අත්වන ඉරණම කුමක් වනු ඇතිද යන්නයි. කුඩා දරුවකුගේ මිය යාමක් සම්බන්ධයෙන් මීට කලකට පෙර රිසානා නම් ශ්‍රී ලාංකික තරුණියට මැද පෙරදිගදී අත් වූ ඉරණම මේ අවස්ථාවේ මතකයට නැගීම පුදුමයක් නොවේ. නමුත් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා නම් සඳහන් කරනුයේ කුසුමලතා අතින් සිදුවුණු මරණය සැලසුම් සහගත මිනිස් ඝාතනයක් නොවන බව ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කුවේට් ‍පොලීසියේද විශ්වාසය බවයි. මේ නිසා ඇයට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇති බව තානාපතිවරයා විශ්වාස කරන බව පෙනේ.
“අපි මුල ඉඳලම ඇය සමග සිටිනවා. මම පෞද්ගලිකවම ඇයට කතා කළා. නීතිඥ සහය පවා ලබා දීල තිබෙනවා. කොන්සල් කාර්යාලය හරහා ඊට අවශ්‍ය වියදම් ලැබෙනවා. කෙසේ වෙතත්, තවමත් ඇය සිටින්නේ ‍පොලිස් අත්අඩංගුවේ. ඉදිරි දින කිහිපය තුළ ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 
එහිදී බොහෝ විට අධිකරණයෙන් ඇයට සමාවක් ලැබේවි” යැයි විජේරත්න මහතා සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia