gossiplankanews- ජිනීවා පරාජයත් ආණ්ඩුවේ මැතිවරණ වාසියට

ජිනීවා පරාජයත් ආණ්ඩුවේ මැතිවරණ වාසියට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 28 සිකුරාදා - 16:28 GMT
එජාපය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීම ගැන තම පක්ෂය කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කළ යුතු බව තමන් රජයට පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ තැකීමක් නොකළ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කෙරුණ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.
එහෙත් ආණ්ඩුව ලබන මැතිවරණ ජයග්‍රහණ මගින් ජිනීවා යෝජනාවෙන් රටට එල්ල වෙන අහිතකර බලපෑම් වැළැක්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.අද කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ, ජිනීවා යෝජනාව පරාජය කිරීමට වඩා ආණ්ඩුවට අවශ්‍ය වූයේ එමගින් දේශපාලන වාසි ලබා ගනිමින් මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීම බවයි.
"මේ වගේ යෝජනාවක් සම්මත වීම නිසා රටට එල්ල වෙන බලපෑම ගැන මේ ආණ්ඩුව තුට්ටුවක් තරම් වත් ගණන් ගන්නේ නැහැ, මැතිවරණ දිනීමෙන් මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ නැහැ, අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා, අපි ආණ්ඩුවට උදව් කරන්න සුදානම්. හැබැයි ආණ්ඩුවේ ගමන් මාර්ගය වෙනස් කරන්න අවශ්‍යයි. මැතිවරණ ජයග්‍රහණය කිරීම විතරද රටක එකම අරමුණ?" ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

ගමන් මගේ වෙනසක්

ජිනීවා යෝජනාවට ඇතුළත් බොහෝ කරුණු ඉටු කරන බවට රජය විසින් විවිධ අවස්ථාවල ජාත්‍යන්තරයට පොරොන්දු දී ඇති බව පවසන මන්ත්‍රීවරයා, 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවට 18 වෙනි සංශෝධනය තුළින් රාජ්‍ය තන්ත්‍රයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල කිරීමේ රජයේ අත්තනෝමතික ක්‍රියා මාර්ගය ශ්‍රී ලංකාවට භයානක තත්වයකට මුහුණ දීමට හේතු වී ඇති බවයි කියා සිටියේ.
මේ වන විට අසල්වැසි බොහෝ රටවල් හා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ශ්‍රී ලංකාවෙන් ඈත් වී ඇති බව පෙන්වා දෙන කිරිඇල්ල මන්ත්‍රීවරයා, මෙවර යෝජනාවේ දී ශ්‍රී ලංකාවට ඡන්දය දුන් බොහෝ රටවල ද ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු බවත් සඳහන් කළේය.
"අපට ඡන්දය දීපු රටවල් දොළහ ගත්තම, ඉන් කීපයක් හැර අනිත් ආණ්ඩු අපේ ආණ්ඩුව වගේමයි. ඒවායේ සහයෝගය ලැබිල තියෙනවා - වැඩි වැඩියෙන් මේවා කරපල්ල කියල. නමුත් පිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ඇති එක රටක සහයෝගය අපට ලැබිල නැහැ" එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා පැවසීය.

ජවිපෙ විග්‍රහය

ජිනීවා යෝජනාව පිළිබඳ ව අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ එම පරාජයේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුව බාර ගත යුතු බවයි.
යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව දැන් එවැනි යෝජනා වලින් පරදින්නේ ආණ්ඩුව යුද්ධයෙන් පසුව අනුගමනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත නිසා යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
අග විනිසුරුවරිය ඉවත් කර තමන්ගේ හිතවතෙක් එම පදවියට පත් කර ගැනීම, හලාවතදී ධීවරයෙකු ඝාතනය කිරීම, කටුනායකදී කම්කරුවෙකු ඝාතනය කිරීම , රතුපස්වලදී තිදෙනෙකු වෙඩි තබා මර දැමුණ ආකාරය වැනි අපරාධ ගැන මුළු ලෝකයම දන්නා බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, එවන් ආණ්ඩුවකට ලෝකයේ සහයෝගය හිමි නොවන බවයි කියා සිටියේ.

'යටි අරමුණු'

ඇමෙරිකා එක්සත් ජනපදය ඡන්දය හිමි රටවල් වලට බලපෑම් කරමින් ඡන්ද ලබා ගෙන මෙම යෝජනාව සම්මත කර ගත බවයි, මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කළේ.
හම්බන්තොටදී මාධ්‍ය හමුවක් අමතමින් විදේශ අමාත්‍ය ජී.එල්.පිරිස් පැවසුවේ, ජිනීවා යෝජනාවේ යටි අරමුණ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් සිදු කිරීම වන බවයි.
"ඒ අය හොඳට දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය හරහා මැතිවරණ හරහා ඒ ප්‍රතිඵලය ලබා ගන්න බැරි බව. ඒ නිසා තමයි, විරුද්ධ පක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක් වී විකල්ප ක්‍රියාමාර්ග හොයන්නේ" ජී.එල්.පිරිස් ඇමතිවරයා පැවසීය.
ජිනීවා යෝජනා සම්මතය මගින් ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයක සම්බාධක පැනවීමට නොහැකි බවයි විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia