gossiplankanews- පහර දුන්නේ 'සඟවන්න දේවල් තියෙන නිසා'
'අපිට යම් යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන'
සුහද නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවේ මැරයන් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන්ට සැඟවීමට යමක් තිබෙන නිසා බවට සැක මතුවන බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.
සංචාරයේ යෙදුන කණ්ඩායමේ සාමාජික අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී මන්ත්‍රී පිරිසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කොළඹදී මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින්.
හම්බන්තොට සංවර්ධන ව්‍යපෘති දැක බලා ගන්නා ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම කරන ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ අවසරය ලබාගෙන තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හම්බන්තොට ගුවන්තොටුපල හා වරාය දැක බලා ගැනීමට පැමිණි බවයි, මන්ත්‍රීවරයා
කියා සිටියේ.
"අපිට යම් යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන. ඒ වගේම ඉදි කිරීම් නිසි ප්‍රමිතියට නොකිරීම ගැන. ඒ නිසා අපි කල්පනා කළා මෙවන් පරීක්ෂණ චාරිකාවක යෙදෙන්න," යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
'රාජ්‍ය ත්‍රස්තවාදය'
සංචාරයේ නිරත වූ ඔහු ඇතුළු අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරුන්ට ගල්මුල් ප්‍රහාර, තර්ජන, බියවැද්දීම් සහ කුණු බිත්තර ප්‍රහාරවලටද ලක්වීමට සිදුවූ බව එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය.
හම්බන්තොට රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර තිබූ බවට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද චෝදනා කළේය
ප්‍රහාරයට හම්බන්තොට නගරාධිපතිවරයා සම්බන්ධ බව පවසන මන්ත්‍රීවරුන් පිරිස, ප්‍රහාරය අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගත් බවට පොලිසියටද චෝදනා කරති.
කෙසේ නමුත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ ගාල්ල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ ප‍්‍රධානත්වයෙන් සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
"කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයින් ගැනත් ගිනි අවියක් අතේ තියාගෙන සිටින පුද්ගලයා සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වෙනවා. ඊට අමතරව එම ස්ථානයේ සිටි පොලිසියේ නිලධාරීන් රාජකාරීය නිසියාකාරයෙන් සිදු කළාද යන්නත් සොයා බලනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සදහා යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු කළේ දැයි විමර්ශනයක් පවත්වන බවද ඔහු පැවසීය.
දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවලින් ඉවත් වූයේ සිය ආධාරකරුවන්ට පහර දෙන බවටත් තර්ජනය කරන බවටත් ආණ්ඩු පක්ෂ ආධාරකරුවන්ට චෝදනා කරමින්.
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැර ඇති නිසා එම දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වූ බවයි, එකල ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සඳහන් කළේ.
Comments
Post a Comment