gossiplankanews- මැදපෙරදිග මිය යන අපේ කතුන්ගේ අවයව ජාවාරම


මැදපෙරදිගමැදපෙරදිග රටවල මියයන ශ්‍රී ලාංකිකයන්ගේ අවයව විකිණීමේ ජාවාරමක් තිබෙන බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව පසුගිය සතියේ කිසියම් ආන්දෝලනයක් ඇති කළ කාරණාවක් විය. රන්ජන් රාමනායක මහතා මේ තොරතුරු පිළිබඳව ප්‍රශ්න කරමින් පිළිතුරු අපේක්ෂා කළේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගෙනි. 
මෙහිදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ද පිළිතුරු කතාව කරමින් කියා සිටියේ මෙලෙස මොළය මියගිය ශ්‍රමිකයන්ගේ අවයව මුදලට විකිණීමේ ජාවාරමක් ඇති බව දැනගන්නට ලැබුණත් ඒවා තහවුරු කර ගැනීමට තරම් සාක්ෂි නැති බවය. “මේ කාරණය සම්බන්ධව අප අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරියේ දී මේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවේවි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 


මැද පෙරදිගට ගෘහ සේවය සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විවිධ වද හිංසාවලට හා හදිසි මරණවලට ගොදුරු වන බව පැවසෙන්නේ අද ඊයේ සිට නොවේ.  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කළේ වසර 2000දීය. එදා ලෙබනන් මුහුදු වෙරළේදී මරා දමා තිබුණු බව පැවසුණු ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ඔහු මුල් වරට අනාවරණය කළේ ඡායාරූප හා පහසුවෙන් බැහැර කළ නොහැකි තොරතුරු පවා මාධ්‍යයට පෙන්වමිනි. 
රාමනායක මහතා පවසන ආකාරයට මැද පෙරදිගදී මියයන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට නිශ්චිත මරණ සහතිකයක් නැත. බොහෝ විට ඒ සම්බන්ධව ඉදිරිපත් වන්නේ ව්‍යාජව සකස් කළ ලියැවිල්ලක් බව ඔහු අනාවරණය කළේය. “මම මේවා කියන්නේ නිකම්ම නමෛයි. පසුගිය අවුරුද්දේ මේ විදියට මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ 480ක් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මේ අවුරුද්දේදීත් ජනවාරි ඉඳලා අප්‍රේල් මුල් සතිය වෙද්දී මෘත දේහ විතරක් 144 ක් ගෙනල්ලා තිබෙනවා. මේ හැම මෘත දේහයක්ම වයස අවුරුදු 30ට අඩු අයගේ. විශේෂයෙන්ම ඒ අතර වැඩිපුර ඉන්නේ කාන්තාවන්.” මේ ආකාරයට මැද පෙරදිගදී මිය යන බොහෝ ගෘහ සේවිකාවන්ගේ මරණවලට හේතුව ලෙස සඳහන් වී තිබෙන්නේ සිය දිවි නසා ගැනීම් හෝ හෘදයාබාධ බවද ඔහු සඳහන් කරයි. 
women“අවුරුදු 30ට අඩු ඒ කියන්නේ අවුරුදු විසි දෙකේ විසි තුනේ ගැහැනු ළමයින් පවා මියයන්නේ හදවත් රෝගවලින්. මේවා හරිම පුදුම සහගත සහ සැකසහිත මරණ කියලයි මම හිතන්නේ ”රාමනායක මන්ත්‍රීවරයා පවසයි. 
මෙසේ මරණයට පත්වන අය අතරින් තවත් පිරිසක් මිය ගොස් ඇත්තේ හදිසි අනතුරු නිසාය. ඒවා බොහෝ විට උඩු මහලින් බිමට වැටීම්ය. එසේත් නැත්නම් දිවි නසා ගැනීම්ය. 
“කෙසේ හෝ මේ සම්බන්ධව තොරතුරු සොයා යාමේදී අපට අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මේ මෘත දේහවල ඇතැම් අවයව පවා අතුරුදන් වී තිබෙන බවයි. මෘත දේහයක වකුගඩුවක් අතුරුදන්වී තිබෙන්නේ කොහොමද කියලා සොයලා බලද්දී ඒකටත් විවිධ ලියැකියැවිලි අරාබි හාම්පුතුන් සතුව තිබෙනවා. ඔවුන් කියන්නේ මේ සේවිකාව කැමැත්තෙන් වකුගඩු දන් දුන් බවයි. 
“අපට ලැබෙන ඇතැම් තොරතුරුවලට අනුව ඒ දේවල් වෙන්නේ මෙහෙමයි. අපේ අහිංසක කාන්තාවන්ට අරාබි භාෂාව බැහැ. ඉතින් කපටි හාම්පුතුන් මේ අයගෙන් ලියැවිල්ලකට අත්සන් ගන්නවා. එහෙමත් නැත්නම් ඇඟිලි අත්සන ගන්නවා. ඊට පස්සේ සිහි නැති කරලා මේ අවයව ලබා ගන්න බවට තොරතුරු වාර්තා වෙනවා. ඉන් පස්සේ ඔවුන් නීතිය ඉදිරියට ගිහින් වැඩක් නැහැ. මොකද අත්සන ගහලනේ. කොහොම හරි සිහිය ඇවිත් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැන ගත්තාම තමයි මේ අය හඬා වැටෙන්න පටන් ගන්නේ. මේ තොරතුරුවල ඇත්ත නැත්ත මොකද්ද කියලා සොයා බලන එක රජයේ වගකීමක්” රාමනායක මහතා පෙන්වා දෙයි. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට මේ කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන්නේ නම් මේ කතා ඇත්තද නැද්ද යන්න නුදුරේදීම හෙළි කරගැනීමට හැකිවනු ඇත.
අපි මේ තත්ත්වය පිළිබඳව පළපුරුදු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සමගද කතා කළෙමු. එම වෛද්‍යවරයා සඳහන් කරන්නේ මෙසේ මරණයට පත්වන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 
පිළිබඳව වහා මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු වුණත් ඒවා ශ්‍රී ලංකාවේදීවත් සෞදි අරාබියේදීවත් හරි හැටි සිදුනොවන බවය.  “ඒ අය මරණ සහතිකයේ  දාලා එවන ටික විතරක් අපි පිළිගන්නවා. ඇත්තටම රාජ්‍ය මට්ටමින් මේ පිළිබඳව සුදුසු තීන්දු තීරණවලට එළැඹිය යුතුයි. 
“ඇත්තම කියනවා නම් මැද පෙරදිග අපේ තානාපති කාර්යාලවල ඉන්න නිලධාරින් පවා මේ පිළිබඳව හරි විදියට හිතලා කටයුතු කරන්නේ නැහැ. මේවා මේ විදියට සිද්ධ වෙන්නේ ඒ නිසයි.” 
රට විරුවන්ගෙන් එසේ නැත්නම් මැද පෙරදිග ගෘහ සේවයට ගිය අපේ අයගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 8කි. එහෙත් මේ රට විරුවන් මුහුණ දෙන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් වගකිවයුත්තන්ගෙන් යොමු වනවාද යන්න ප්‍රශ්නයකි. 
මැද පෙරදිගදී සිදුවන මරණවලට අමතරව දිනපතාම පාහේ විවිධ අනතුරුවලට හා වද හිංසාවලට ලක්වෙන ගෘහ සේවිකාවෝ සිටිති. මීට අමතරව විවිධ හාම්පුතුන්ගෙන් තරුණ ශ්‍රී ලාංකික කතුන්ට එල්ල වෙන ලිංගික බලපෑම් හා බලහත්කාරකම් පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි. 
“දැන් බලන්න සමහර ගෘහ සේවිකාවන්ට හුනියම් කළා කියලා වද හිංසා පමුණුවනවා. හිරේ දානවා. කස පහර දෙනවා. බොහෝ වෙලාවට මේවා මාධ්‍යවලින් පෙන්වන තුරු ඔය  රටවල ඉන්න නිලධාරීන් පවා දන්නේ නැහැ. මේකට හේතුව දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම්වලට අනුව නිලධාරීන් පත් කර යැවීමයි.”
මැද පෙරදිග සේවය සඳහා යන සියලුම ගෘහ සේවිකාවන්ට මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වී ඇතැයි අපි නොකියමු. එහෙත් විශාල පිරිසකට මෙවැනි ගැටලු මතුවී තිබෙන බව රහසක් නොවේ. ඒ නිසාම මේ බොහෝ ප්‍රශ්න අවසන් වන්නේ ඛිෙදජනක සිදුවීම්වලිනි.
“සමහර කාන්තාවන්ට ගැටලු තිබෙනවා කියලා දැනගත්තාම අපේ නිලධාරීන් කරන්නේ ඔවුන්ව මැදපෙරදිගට යවපු ඒජන්සිකරුවන්ට කතා කරලා ඒ මාර්ගයෙන් වෙනත් තැනක් සොයා දෙන එකයි. මෙවැනි අවස්ථාවල ඒ සමහර ගෘහ සේවිකාවෝ කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට උඩු මහලින් තල්ලු කරලා සිය දිවි නසාගත්තා කියනවා.” රන්ජන් රාමනායක මහතා පවසයි.
තමාට මේ සියලු තොරතුරු ලැබෙන්නේ මැදපෙරදිග ජීවත්වන අපේම ගෘහ සේවිකාවන්ගෙන් බව ඔහු සඳහන් කරයි. එම රටවල රජයන් මේවා යට ගසමින් ශ්‍රී ලාංකික බලධාරීන්ට උපාසක මුහුණක් පෙන්වද්දී ඒ උපාසක මුහුණ පිටුපස තිබෙන යක්ෂ රූපය පෙන්වා දෙන්නේ මේ ගෘහ සේවිකාවන්ම බව ඔහු කියයි. 
අවයව ජාවාරම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් පසුව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ මෙසේ  සැක කටයුතු ලෙස මියයන අයගේ ඥාතීන් ඉල්ලීමක් කළොත් අපේ තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් පශ්චාත් මරණ 
පරීක්ෂණයක් සිදු කරන බවය. එමෙන්ම ඒ පිළිබඳව තවදුරටත් සැකයක් පවතින්නේ නම් ශ්‍රී ලංකාවේදී මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන බවය. 
කෙසේ හෝ වේවා අමාත්‍යවරයා පවා බැහැර නොකරන, එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අවධාරණය කර පෙන්වන මේ අවයව ජාවාරම ගැන විධිමත් ලෙස සොයා බැලීමට දැන් කාලය පැමිණ ඇත

gossiplanka.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia