gossiplankanews- කිරුළපන බැංකු කොල්ලයේ කොල්ල කරුවන් මෙල්ල කල හැටි


කිරුළපනකිරුළපන නගරය බෙහෙවින් ජනාකීර්ණ වී තිබුණේය. ඒ වන විට වේලාව දහවල් 1.30 පහුවෙමින් තිබිණි. පාසල් නිමාවී තිබීම නිසා වාහන තදබදය ද දෙගුණ තෙගුණ වෙමින් තිබිණි. තොරතෝංචියක්‌ නැතිව ධාවනය වූ වාහන අතුරින් මතුවූ යතුරුපැදියක්‌ කිරුළපන නගරයේ එක්‌තරා පෞද්ගලික බැංකුවක්‌ ඉදිරිපිට නතර කළේය.
එම යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුqන් පැළඳ සිටි හෙල්මට්‌ නිසා මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබිණි. ගඟනගාමියකුගේ සූට්‌ එකට සමාන ජැකට්‌ දෙකක්‌ ඔවුන් පැළඳ සිටියහ. දැඩි කලබල බවකින් යුතුව යතුරුපැදියකින් බැසගත් ඔවුන් දෙදෙනා පෞද්ගලික බැංකුව දෙසට පියවර මනින්නට වූහ.
බැංකුව ඉදිරිපිට ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකි. ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී අශෝක ප්‍රියන්තයි. ඔහු සතුව රිපීටර් වර්ගයේ ගිනි අවියකි. අනෙක්‌ ආරක්‍ෂක නිලධාරියා සමරපාලයි. ඔහු සිටියේ නිරායුධවයි.
සම්පූර්ණයෙන්ම මුහුණ වැසෙන සේ ආරක්‍ෂිත හිස්‌වැසුම් පැළඳ, අමුතු වර්ගයේ ජැකට්‌ පැළඳ බැංකුව දෙසට එන නාඳුනන පුද්ගලයන් දෙදෙනා වෙත ආරක්‍ෂක නිලධාරීන්ගේ තියුණු දැස්‌ යොමුවී තිබිණි. එම පුද්ගලයන් දෙදෙනා වීදුරු දොරටුව තල්ලු කරමින් බැංකුවට ඇතුළුවීමට උත්සාහ කළේය.


කොහෙද යන්නේ, අශෝක ප්‍රියන්ත නාඳුනන පුද්ගලයන් දෙදෙනාගේ ගමන මඳකට වැළැක්‌වූයේය.
මුහුණු ආවරණ යොදා ආරක්‍ෂිත හිස්‌වැසුම් ආදිය පළඳා බැංකුවලට කිසිම පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය බැංකු ආරක්‍ෂකයන් දැනුවත් කර තිබුණේය.
ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි අශෝක ප්‍රියන්ත ක්‍රියා කළේ ඒ උපදෙස්‌ අනුවය. අනෙක මෙම නාඳුනන පුද්ගලයන් දෙදෙනා කෙරේ මුලසිටම ඔහුගේ හිතේ ගොඩනැඟී තිබුණේ විශාල සැකයකි.
ගත වූයේ නිමේෂයකි. එම නාඳුනන පුද්ගලයෙකු කලිසම් සාක්‌කුවේ සඟවාගෙන තිබූ පිස්‌තෝලයක්‌ එළියට ගෙන අශෝක ප්‍රියන්තගේ හිස දෙසට එල්ල කළේය.
දාගන් යකෝ තුවක්‌කුව පහළට දඟලන්න හැදුවොත් තියෙනවා ඔළුව කුඩු වෙන්න. පිස්‌තෝලය අතැති කොල්ලකරු එලෙස අශෝක ප්‍රියන්තට තර්ජනය කළේය.
ඒ වන විට බැංකුවේ නිලධාරීන් වැඩි දෙනෙක්‌ දිවා ආහාරය සඳහා පිටවී ගොස්‌ සිටියහ. එම නිසා බැංකු කාර්යාලයේ සිටියේ එහි කාර්ය මණ්‌ඩලයේ කිහිපදෙනකු සහ ගණුදෙනුකරුවන් කිහිපදෙනකු පමණි.
අශෝක ප්‍රියන්ත කොල්ලකරුවන්ගේ තර්ජන ගර්ජන හමුවේ බියට පත්වූයේ නැත. ඔහු වසර ගණනාවක්‌ යුද හමුදා සේවයේ යෙදී සිටියදී ලබාගත් නිර්භීතකම පළපුරුද්ද ඒ මොහොතේ ඔහුට විශාල ශක්‌තියක්‌ ගෙන ආවේය.
ඒ සමග අනෙක්‌ කොල්ලකරු ආරක්‍ෂක නිලධාරි සමරපාලට පා පහරක්‌ එල්ල කළේය. අනපේක්‍ෂිත මොහොතක එල්ල වුණ ඒ පා පහරින් සමරපාල බිම ඇදවැටුණේය. තවදුරටත් ඉවසාගෙන බලාසිටියහොත්a මහා විනාශයක්‌ සිදුවනු නොවනුමාන බව අශෝක ප්‍රියන්තට සිතුණි. කොල්ලකරුවන් ඉස්‌සරවීමට පෙර ඔහු ඉස්‌සරවීමට තීරණය කළේය. ඒ තම දිවි පරදුවට තබාගෙනය.
ඔහු තම දකුණු අතේ සිරකරගෙන සිටි රිසීවර් වර්ගයේ ගිනි අවිය වෙඩි ප්‍රහාරයක්‌ තැබීම සඳහා සූදානම් කළේය. ගත වූයේ තත්පර කිහිපයකි. ප්‍රදේශය දෙදුරුම් කමින් අශෝක ප්‍රියන්ත අත තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවිය ක්‍රියාත්මක විය.
මෙලෙස අනපේක්‍ෂිත මොහොතක වෙඩි ප්‍රහාරයක්‌ එල්ලවීම නිසා කොල්ලකරුවන් දෙදෙනා ද බියට පත් වූහ. මෙවැනි දෙයක්‌ සිදු වේ යෑයි කොල්ලකරුවන් දෙදෙනා කිසිසේත් නොසිතන්නට ඇත. මුදල් කොල්ලය පසෙක දැමූ ඔවුන් දෙදෙනා වහාම බැංකු කාර්යාලයෙන් එළියට පැන ගැනීමට සූදානම් වූහ.
අශෝක ප්‍රියන්ත පිස්‌තෝලයක්‌ අතැතිව සිටි කොල්ලකරු ග්‍රහණයට ගැනීමට උත්සාහ කළේ තම දිවි දෙවැනිකොටය.
දැඩි ලෙස කලබලයට පත්ව සිටි කොල්ලකරුවන් දෙදෙනා ආපසු පැන යැමට සැරසුණේය. ඔහුත් කොතරම් කලබලයට පත්වී තිබුණද කිවහොත් ඔවුන් පැමිණි යතුරුපැදිය පවා සොයා ගැනීමට නොහැකි විය. මහමග ගමන්ගත් යතුරුපැදිකරුවකුට පිස්‌තෝලය එල්ල කරමින් යතුරුපැදියක්‌ ඔවුන්a පැහැර ගත්තේය.
යතුරුපැදියට නැගුණු කොල්ලකරුවන් පවනට බඳු වේගයෙන් ඉඟිලී ගියේ බැංකු ආරක්‍ෂක නිලධාරීන්ට දෙස්‌ දෙවොල් තබමින්ය. විනාඩි ගණනක්‌ ඇතුළත සිදු වූයේ කුමක්‌දැයි කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි විය. සියලුදෙනා හිටියේ තුෂ්නිම්භූතවය.
කිරුළපන පෞද්ගලික බැංකුවේ ආරක්‍ෂක නිලධාරීවූ අශෝක ප්‍රියන්තගේ සහ සමරපාලගේ දක්‍ෂතාව නිසා සිදුවීමට ගිය මහ බැංකු කොල්ලය වැළකී ගියේ ඒ ආකාරයටය.
නිශ්ශංක සේනාධිපති මහතාට අයත් ඕපන් ගාර්ඩ්ස්‌ ආරක්‍ෂක සේවයට අනුයුක්‌තව වසර දහයකට ආසන්න කාලයක්‌ සේවය කළ අශෝක ප්‍රියන්ත සැබෑ නිර්භීත නිලධාරියෙකි. මෙම ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ලබාදුන් ආදර්ශය සෙසු ආරක්‍ෂක නිලධාරීන්ට මෙන්ම පොලිසියටද ගෙන දෙන්නේ මහඟු ආදර්ශයකි.
ඉකුත් සති කිහිපය පුරා එක දිගට සිදුවූ මහ කොල්ලකෑම් වලින් රටම හෙල්ලුම් කෑවේය. ඉවක්‌ බවක්‌ නොමැතිව සිදුවන කොල්ලකෑම් නිසා රට පුරා තිබෙන මූල්‍ය ආයතනවලට එල්ල වී තිබෙන්නේ බරපතළ තර්ජනයකි.
මීගමුව නගරයේ පිහිටි රන් ආභරණ වෙළෙඳ සලක්‌ ඉකුත් 17 වැනිදා රාත්‍රී කොල්ල කෑවේය. කොල්ලකරුවන් පැහැරගෙන ගිය මුදල් හා රන් ආභරණ හා විදේශ මුදල්වල වටිනාකම රුපියල් එක්‌කෝටි තිස්‌පන් ලක්‍ෂයකි.
යතුරුපැදි තුනකින් පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් හයදෙනෙක්‌ මෙම කොල්ලය සඳහා සහභාගි වී සිටියහ. ඔවුන් ටී 56 ගිනි අවි සහ පිස්‌තෝල වලින් සන්නද්ධව සිටියෝය. එම කොල්ලකරුවන් සියලු දෙනා ද මුහුණු ආවරණය වන හිස්‌වැසුම් පැළඳ සිටියහ.
ඔවුන් ගිනි අවි පරිහරණය කළේ ඉතාම පළපුරුදු ආකාරයටය. කොල්ලකරුවන් රන් ආභරණ ආයතනය තුළ හැසිරෙන ආකාරය සී. සී. ටී. වී. කැමරා තුළ සටහන්ව තිබුණේය.
එහෙත් අවාසනාවකට ඔවුන් කිසිවකු හඳුනාගත නොහැක. කොල්ලකරුවන් සියලුදෙනා මුහුණු ආවරණය වන සේ ආරක්‍ෂිත හිස්‌වැසුම් පැළඳ සිටියෝය. එම නිසා මීගමුවේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
මෙම සිද්ධිය සිදුවීමට දින කිහිපයකට උඩදී සීදුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක්‌ කොල්ල කෑවේය. මධ්‍යම රාත්‍රියේ බැංකුවට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක්‌ එහි කළමනාකරුට පිහියෙන් ඇන රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කොල්ලකෑවේය. අද වන තුරුත් එම බැංකු කොල්ලය ද කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අපරාධ ගොන්නට වැටී හමාරය.
ඉකුත් ජනවාරි මාසයේ සිට මේ වනතුරු රට පුරා සිදුවී ඇති මහ පරිමාණ කොල්ලකෑම් ගණන 14 කි. ඒ කොල්ලකෑම් වලින් වැඩි ප්‍රමාණයක සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
පසුගිය කාලයේ සිදුවූ කොල්කෑම් වැඩි ප්‍රමාණයක්‌ සිදු වුණේ එකම ආකාරයකටය.
කොල්ලකරුවන් පැමිණියේ ආයුධ සන්නද්ධවය. ඔවුන් සියලු දෙනා පැමිණ සිටියේ මුහුණු ආවරණය වන හිස්‌ වැසුම් පැළඳගෙනය. කොල්ලකෑම් වැඩි ප්‍රමාණයක්‌ සිදු කළේ යතුරුපැදිවලින් පැමිණි කොල්ලකරුවන් විසින්ය.
මේ ආකාරයට ව්‍යාපාරික ස්‌ථාන කොල්ලකෑම් දිගින් දිගටම සිදුවීම රටේ ආරක්‍ෂාවට මෙන්ම ආර්ථිකයට ද බරපතළ ප්‍රශ්නයකි. බැංකු, මූල්‍ය ආයතන රන් ආභරණ වෙළෙඳසල් කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්‌ක බවට පත් වී හමාරය.
මෙවැනි කොල්ලකෑම් නතර කිරීම සඳහා පොලිසියට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත්තේය.
හේමන්ත රන්දුණු

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia