gossiplankanews-කැසිනෝ ව්‍යාපාර ආරම්භ කළ හැකියි - ඉඟියක්


පසුගිය මාසයේ සම්මත වුන ක්‍රමෝපාය සංවර්ධන පනත මගින් ආරම්භ කරන නව හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කළ හැකි බවට රජයෙන් ඉඟියක් පළ විය.
අද කොළඹදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස කැසිනෝ ව්‍යාපාර එම ස්ථානවල ආරම්භකළ හැකි බවටයි ඉඟි පළ කළේ.
පසුගියදා සම්මතවුනු ක්‍රමෝපාය සංවර්ධන පනත් මගින් ආරම්භ කිරීමට අවසරදුන් නව හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භකළ නොහැකි බවට ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බවයි අමාත්‍ය රඹුක්වැල්ල සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය

මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව විමසුවේ නව හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කළහැකි බවට අමාත්‍යවරයා ලබාදුන් ඉඟියක් හේතුවෙන්.
ජනාධිපතිවරයා පනත සම්මත වීමට පෙර පුවත්පත් කතුවරුන් හමුවේ " අලුත් හෝටලයේ කැසිනෝ නැත" යනුවෙන් ප්‍රකාශ කළ නමුත් අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා පැවසුවේ අලුතින් කිසිදු බලපත්‍රයක් ලබා නොදෙන බවයි.
තමන් එම ස්ථානයේ ඒ අවස්ථාවේ සිටි නිසා තමන්ට ඒ සම්බන්ධයෙන් සහතික විය හැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.
පසුගිය අප්‍රේල් 24 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයක් නිකුත් කළ අතර එහි ජනාධිපතිවරයා පවසන්නේ අලුත් හෝටලයේ කැසිනෝ නොමැති බවයි.

බලපත්‍ර හුවමාරුවීම

ශ්‍රී ලංකාවේ වර්තමානයේ කැසිනෝ ව්‍යාපාර සඳහා ලබාදී ඇති බලපත්‍ර හුවමාරුවීම වැළැක්වීමට රජයට නොහැකි බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.
වර්තමානයේ ඇති කැසිනෝ බලපත්‍රයක් යොදාගෙන අදාල නව ව්‍යාපෘතියේ කැසිනෝ ව්‍යාපාර ආරම්භකළ හැකිදැයි බීබීසීය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ;
" උපකල්පනයකට දැන් මට බලපත්‍රයක් තියෙනව නම්, මට හවුල් කරුවෙකු ගන්න පුළුවන්නේ, මට මගේ නෝනා හවුලල්කරුවෙක් කරන්න පුළුවන්, ඕනෑම කෙනෙක් මට හවුල්කරුවකු කරන්න පුළුවන්, ඒකට නීතියෙන් බාධාවක් නැහැනේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරයකට කොටස් කරුවෙක් ඇතුල් කරගන්න පුළුවන්"
කිසිදු නව කැසිනෝ බලපත්‍රයක් තම රජය නිකුත් නොකරන බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති කැසිනෝ බලපත්‍ර පහ ඒ ආකාරයෙන් පවතිනු ඇතැයිද ප්‍රකාශ කළේය.

හම්බන්තොට ප්‍රහාරය

මාධ්‍යවේදීහු පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හම්බන්තොටදී එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හම්බන්තොට නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගැනීම පිළිබඳවද රජයේ ප්‍රකාශකයාගෙන් ප්‍රශ්න නැගූහ.
ඊට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බවයි.
රජයට සම්බන්ධ පුද්ගලයන්ට පවා රටේ නිතිය තදින්ම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, තමා පවා 1999 මැතිවරණ සමයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් තවමත් ඇප පිට සිටින බව පවසමින්.
" කී දෙනෙක් ඉන්නවද මේ වෙනකොට, හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා කීප දෙනෙක්, මේ වන කොට ඇප පිට ඉන්නවා විශාල පිරිසක්, මාත් ඉන්නේ ඇප පිට"

හම්බන්තොට නගරාධිපතිවරයා තුවක්කුවක් අතැතිව සිටින ඡායාරූපය ශ්‍රී ලංකාවේ සියලු පුවත්පත් පළමු පිටුවේ පල කළ බව පවසන අමාත්‍යවරයා එයින් පෙන්නුම්කරන්නේ ශ්‍රී ලංකාවේ ඇති මාධ්‍ය නිදහස බවද ප්‍රකාශ කළේය.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia