gossiplankanews.com- මළ සිරුරකින් දස ලක්ෂයක් සොයාගත් විජේකාන්ති
පසුගිය 22 දින අලුයම බළංගොඩ ගොරකහමඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වු මුස්තාපා හමීෂා (49) මහතාත්, ඔහුගේ බිරිද සිද්ධිනා ෆරීනා (48) මහත්මියත් ව්‍යාපාරික කටයුත්තකට දෙනියාය බලා ගමන් අරඹන ලදී.
ඔවුන්ගේ ගමන් සගයා වුයේ නිලව්සර් (24) නම් තරුණ ත්‍රීරෝද රියදුරාගේ ත්‍රීරෝද රථයයි. වාහන මිලට ගෙන විකිණිම ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත කර ගත් හමීෂා මහතා දෙනියායට යාමට පිටත් වුයේද ව්‍යාපාරික කටයුත්තක් සඳහාය.
හමීෂා මහතා ගමන් ගත් ත්‍රීරෝද රථයේ රියදුරු අතින් වු නිමේෂයක පමාවකින් ඌරුබොක්ක පට්ටිගල දන්ලන්ද වතුයායේ වංගුවේදී ත්‍රීරෝද රථය ගලක හැපී පෙරලී ගියේය. ජිවත් වීමේ අරගලය තුළ තවත් මෙහෙයුමකට ගමන් ගිය හමීෂා, බිරියත් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජිවිත ගමන නිම කළෝය.
ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ටී. එම් තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වී තම ජිප් රථයෙන් සිද්ධිය වු ස්ථානයට ගොස් තුවාල ලත් රියදුරු ජිප් රථයෙන්ම හීගොඩ රෝහල වෙත රැගෙන ගියේය. හමීෂා මහතා සහ බිරිය ද තුවාල ලබා සිටි නිසා ඔවුන් දෙදෙනාද ට්‍රක් රථයකින් රෝහලට රැගෙන යාම සිදුවිය.
රෝහලේ වෛද්‍ය නිලධාරි පුර්ණ කීර්ති පෙරේරා මහතා අලුයම් කාලයේම (උදේ 5ට) මුලික රාජකාරි ආරම්භ කළේය.
බරපතළ තුවාල ලැබු හමීෂා මහතාත්, ෆරීනා මහත්මියත් ඒ වන විට මියගොස් සිටි නිසා ඔවුන්ගේ මෘත දේහ මෘත ශරිරාගාරයට දැමීමට නියම කෙරුණු අතර තුවාල ලත් රියදුරු වහාම මාතර මහ රෝහල වෙත මාරු කර යැවිණි.
රෝහල් කාර්ය මණ්ඩලයත්, පොලිස් නිලධාරිනුත් මෘත දේහයන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට තීරණය විය.
මුස්ලිම් සංස්කෘතියට අනුව පැය 24 ඉක්ම යාමට පෙර දේහයන් මිහිදන් කිරිමටත්, මෘත ශරීර ඥාතීන්ට භාර දීමටත් නියමිතව තිබිණ.
මේ අතර පොලිස් ස්ථානාධිපති වරයාගේ නියමය මත රාජකාරිය සඳහා පොලිස් සැරයන්, 18371 සුනිල් අබේවික්‍රම පොලිස් කොස්තාපල් 21819 පුෂ්පකුමාර යන නිලධාරින් රෝහලට පැමිණ මෘත ශරීරාගාරය සීල් කිරිමට කටයුතු කළහ.
ඉන් පසු මෘත ශරීර පරීක්ෂා කිරිමට වෛද්‍ය නිලධාරි පුර්ණ කීර්ති පෙරේරා මහතාත්, රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිස් නිලධාරින් පිරිසත් සහභාගි වුහ.
සිද්ධිය ගැන කරුණු සදහන් කළ සෞඛ්‍ය කාර්ය සහායක එස්.පී රත්නසිරි මහතා (53) මෙසේ පැවසීය.
“අදාළ මළසිරුරු මෘත ශරීරාගාරයට දැමීමට මම රැගෙන ගියා. මළ සිරුරු දෙක මෘත ශරීරාගාරයට දමා දොර වසා මම පැමිණියා. පසුව මම මෘත ශරීර කැපීමේ කටයුතු වලට සහභාගි වුණා. ඒ වෙලාවේ, වෛද්‍ය නිලධාරිතුමාත්, හෙද නිලධාරින් දෙදෙනෙකුත් සහ කාන්ති උපස්ථායිකා මහත්මියත් සිටියා.
පොලිස් නිලධාරිහුත් සිටියා. මියගිය අයගේ ඥාතියෙකු ද පැමිණ සිටියා. මම පිරිමි අයගේ කලිසම් සාක්කු දෙක බලා පර්ස් දෙකක් තිබී ගත්තා. ඒවායේ සීයේ නෝට්ටු වලින් මුදල් ප්‍රමාණයක් තිබුණා. පසුව කාන්තා මළ සිරුර උපස්ථායිකා විජේකාන්ති අබේවික්‍රම මහත්මිය පරීක්ෂා කළා. ඊට පසුව මම කාන්තා මළ සිරුරෙහි පපු ප්‍රදේශය තුළ සඟවා තිබු රුපියල් 5000/= නෝට්ටු බණ්ඩල 2 ක් අරගෙන වෛද්‍ය නිලධාරි තුමාට දුන්නා.
උපස්ථායිකා විජේකාන්ති අබේවික්‍රම (51) මහත්මිය එහිදී මෙසේ කීවාය.
“කාන්තා මළ සිරුරෙහි පපු ප්‍රදේශයේ අසාමාන්‍ය යමක් මට දැක ගන්න ලැබුණ නිසා මම විමසිල්ලෙන් පරීක්ෂා කළා. ඒ අතරෙදි හැට්ටය යට පපු ප්‍රදේශයට පහළින් මුදල් නෝට්ටු තියනව දැක්ක. මම එය කට්ටියට කීවා.
ඊට පස්සේ රත්නසිරි මහතා ඒ මුදල් අරගෙන වෛද්‍ය නිලධාරිතුමාට දුන්නා. මුදල් ඒ වෙලාවෙම ගැනල බැලුව, රුපියල් දසලක්ෂ 40 දහසක මුදල් තිබුණා. මම 22 උදේ 6.30 ට සේවා අවසන් කර ගෙදර ගියා.
කඹුරුපිටිය නාරන්දෙණිය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති කාන්ති මහත්මිය දෙදරු මවකි. ඇයගේ සේවා කාලය වසර 31 කි.
නීත්‍යානුකූල රාජකාරි නිමකර මෘත දේහයන් මිය ගිය අයගේ දියණිය වන රිශ්කා මහත්මියට බාර දීමට පියවර ගනු ලැබීය. මුදල්ද දියණියට බාර දෙන ලදි. එම මුදල් වලින් රුපියල් 15000 ක මුදලක් රෝහලේ දියුණුවට පරිත්‍යාග කිරීමට ඔවුහු කාරුණික වුහ.
හදිසි මරණ පරීක්ෂණය බෙන්ගමුව කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක සී.එස් සුරියබණ්ඩාර මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය හීගොඩ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකරන ලදී.
බළංගොඩ නගර සභා මන්ත්‍රී එම්.ටී.එම් රූමි මහතා රෝහල් කාර්ය මණ්ඩලයට සහ පොලිස් නිලධාරි මහත්වරුන්ට ස්තුතිය පළ කළේය. අනුන් සතු රුපියලක් තරම් මුදලක්වත්, අසුලාගෙන හෝ හිමිකරුට නොදෙන, මුදල් ඉපයීමට වංචාව, දූෂණය, සිදුකරන මිල මුදලට ගහමරා ගන්නා සමාජයක, රුපියල් දසලක්ෂ හතළිස් දහසක් තරම් වු විශාල මුදලකින් තඹ සතයකුදු අඩු නැතිව, මුදල් හිමිකරුවන්ද ජීවමානව නොසිටි අවස්ථාවක එම මුදල් හිමිකරුවනට නියම අන්දමින් භාර දීමට මිනිසත්කම දැක්වු ඌරුබොක්ක හීගොඩ රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි පුර්ණ කීර්ති පෙරේරා මහතාටත්, උපස්ථායිකා විජේකාන්ති අබේවික්‍රම මහත්මියටත්, සෞඛ්‍ය කාර්ය සහායක එස්.පී රත්නසිරි මහතාටත් උපහාර පිණිස මෙම සටහන තබමු.
Comments
Post a Comment