gossiplankanews.com- අහිමිවූ ජීවිත ගැන සාතිශය සංවේගය - චන්ද්‍රිකා

ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මුස්ලිම් විරෝධී ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත සහ අවතැන් වූ ජනතාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය සංවේගය පුද කරයි.
බුදු දහමේ නාමයෙන් තම පුද්ගලික පටු අරමුණු හඹා යන, කලහකාරී අන්තවාදීන් පිරිසක් විසින් පවත්වනු ලැබූ ජනතාව කුපිත කරවන සුළු පෙළපාලියක් හා මහජන හමුවක් මෙම ගැටුම් සමග සම්බන්ධ වී ඇතැයි තමාට වාර්තා වී ඇති බව පවසන ඇය, මෙම ගැටුම් පිළිබඳව තමා මහත් කම්පනයට පත් වූ බව පවසන්නීය.


මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ජන කොටස් වලට ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ සමාන වූ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා දීමට පෙර කිසි දිනක නොවූ විරු ආකාරයේ මහඟු අවස්ථාවක් ලැබී ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.මාස දහ අටක පමණ සිට 'වෛරය වපුරමින් අශෝභන ආකාරයෙන් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන් පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අපොහොසත් වීම' පිළිබඳව හිටපු ජනාධිපතිවරිය දැඩි අවධානය පළ කරයි.

කළු ජූලිය

එක්දහස් නවසීය අසු තුන වසරේ ඇති වූ වර්ගවාදී කෝලාහල මැඩපැවැත්වීමට එවකට සිටි රජය ක්‍රියා නොකිරීම හේතුවෙන් අති විශාල ජීවිත ගණනක් බිලි ගත් වසර විසිපහක් පුරා පැවති යුද්ධයකට රට තල්ලු කරනු ලැබූ බවත් හිටපු ජනාධිපතිනිය සිහිපත් කරයි.
අලුත්ගම නගරයේ හානියට පත් කඩ සාප්පු
එතැන් සිට බෙදුම්වාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවති රජයන් කිහිපයක්ම රටේ හමුදාව පොලිසිය ඇතුළු මහජනතාවට නායකත්වය ලබා දුන් අතර යුද්ධය අවසානයක් කරා ගෙන ඒමට වර්තමාන රජය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවත් නිවේදනයේ සඳහන්.
ජාති භේදය හා ආගම් වාදය ඇති කරන ගැටුම් නැවැත්වීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා මෙන් රටේ සිටින සියලු නායකයන්, ආයතන හා තනි පුද්ගලයන් එකතු වී වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු බව හිටපු ජනාධිපතිවරියගේ අදහසයි.
මෙම ගැටුම් සඳහා මිනිසුන් පෙලෙඹවූ හා එම අපරාධයන්ට සම්බන්ධ වූ පුද්ගලයන් ප්‍රමාදයකින් තොරව නීතිය ඉදිරියට පමුණුවා අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන මෙන් රටේ ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවත් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණයෙන් යුතුව කියා සිටියි.

ඉතා කුඩා ප්‍රමාණයේ අන්තවාදීන් පිරිසක් හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් සිවිල් යුද්ධයක් කරා ගෙන යා නොහැකි අතර අති විශාල බහුතරයක් වූ සිංහල බෞද්ධ ජනතාව මෛත්‍රිය, එකිනෙකා අතර වූ අවබෝධය, ආදරණීය වූ කාරුණික බව, උදාරත්වය හා බුද්ධිමත්භාවය විශ්වාස කරන බවත් ඇය සඳහන් කරන්නීය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia