භාතියගේ සංගීතෙට විනාඩියට ලක්ෂ 2ක් ගෙවලා!

හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමට ප්‍රසිද්ධ ගායකයකු විසින් කරගෙන යන පෞද්ගලික සමාගමකට රුපියල් දෙකෝටි 76 ලක්ෂයක් ගෙවා තිබේ.‍


2014 වසරේ සැප්තැම්බර් 9 වැනිදා පස්වරු 5.30 සිට පස්වරු 7.50 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් තුළ පැවැති මේ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශාල මුදලක් ගෙවා ඇත්තේ ‘පෝට්චූන් එන්ටටේන්මන්ට් (පෞද්ගලික) සමාගමේ භාතිය ජයකොඩි යන අයට ය.



වියදම් කර ඇති මුදල අනුවත් එම උත්සවය පැවැති කාලය අනුවත් විනාඩියකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ‍එම සමාගමට ගෙවා ඇත.


රාජ්‍ය නායකයාගේ  සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට මෙතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබා නොගෙන බව මේ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.


‘වේරැස්සගහ ව්‍යාපෘතිය’ නමින් සිදුවූ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල කොටස විවෘත කිරීමේ උත්සවය එදින සිදුවී ඇත.


මේ උත්සවයේ ආරාධිත නර්තනය සඳහා රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂ හතළිස් පන්දහසක පමණ මුදලක් ගෙවා තිබේ.
 එම උත්සවයේ තවත් අංගයක් සඳහා රුපියල් එක්කෝටි එකොළස් ලක්ෂයක පමණ මුදලක් ගෙවා තිබේ.


තවත් අංගයක් සඳහා දහ අට ලක්ෂ තිස් එක් දහසක පමණ මුදලක් ගෙවා ඇත.


තවත් විවිධ අමතර වියදම් සඳහා රුපියල් අට ලක්ෂයකට අධික මුදලක් ද වශයෙන් සම්පූර්ණ වියදම රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂ දාහතර දහස් හාරසිය හතළිහක මුදලක් මෙසේ අය කර තිබේ.‍


තරගකාරී මිල ගණන් නොකැඳවා සිය අභිමතය පරිදි මේ කාර්යය පෞද්ගලික සමාගමකට පැවරීම හේතුවෙන් අතිවිශාල අනාර්ථික වැයක් සංස්ථාව විසින් දරා ඇති බව රාජ්‍ය විගණනය ද පෙන්වා දී ඇතැයි එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


(උපුටා ගැනීම සිළුමිණ-විජයානී එදිරිසිංහ)

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia