ආගම අදහන්න නොදෙන, හමුදා ප්‍රධානියෙකු ගැන අස්ගිරි මහනාහිමියන් හෙළි කරයි
මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් යුද හමුදාවේ පිරිසකට ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාවක් ලබානොදීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු හෙළි කළා. උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට ඒ පිළිබදව කරුණු සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බවයි. ප්‍රධාන හමුදා නිලධාරියෙකු ඇතැම් අවස්ථාවන්හිදී දෙමව්පියන්ගේ, දරුවන්ගේ අසනීපයකට හෝ තමා යටතේ රාජකාරී කරන හමුදා සාමාජිකයන්ට නිවාඩු ලබානොදෙන බව එහි සදහන් වී ඇතැයි මහනාහිමියන් ප්‍රකාශ කළා. මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවයි අස්ගිරි මහනාහිමියන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. තමන් ද ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවදානය එම සිද්ධිය සම්බන්ධයෙන් යොමු කරන බවට අමාත්‍ය මහින්ද සමරසිංහ, මහනාහිමියන්ට ප්‍රකාශ කළා.
මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටු අමාත්‍යවරයාගෙන්, මහනාහිමියන් ජිනිවා මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ඉදිරිපත් වූ වාර්තාව පිළිබඳව කරුණු විමසුවා. යළි රටේ සංහිදියාව ගොඩනැගීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව ගැන තමිල්නාඩුවේ දේශපාලනඥයන් විරෝධය පළ කරද්දී මෙරට දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද ඊට එරෙහිවීම ගැටළුසහගත බවයි මහනාහිමියන් මෙහිදී අමාත්‍යවරයාට කියා සිටියේ. අනතුරුව අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අදහස් පළ කළා.
Comments
Post a Comment